මැලේසියාවේ ‘නෝ ෆයර් සෝන්’ නඩුව ඇරඹේ

0
157

Lena outside courts

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳව වාර්තා චිත්‍රපටයක් දෑවුරුද්දකට පෙර තිරගත කිරීම නිසා නඩු පැවරීම ගැන මැලේසියාවේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක් එරට ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක් කළාය.

“මානව හිමිකම් රකින්නට එක්සත් ජාතීන් හමුවේ දුන් පොරොන්දු ආණ්ඩුව රට තුලදී බිඳ හෙළන,” බවයි චිත්‍රපට දර්ශනයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ මුල්ම මැලේසියානු ක්‍රියාධාරිනී පුසාට් කොමාස් රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ සටහන් සම්බන්ධීකාරිකා ලීනා හෙන්ඩ්‍රි නඩු විභාගය ඇරැඹුනු 14 සඳුදා කුවාලලම්පුර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට කියා සිටියේ.

ඉකුත් මාසයේදී මැලේසියාව ඇතුළු ආණ්ඩු 116ක් එක්ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ  සමාජ, මානව හා සංස්කෘතික කමිටුවේ සම්මත කරගත් යෝජනාවකින් සියලු රටවලින් ඉල්ලා සිටිනු ලැබුවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් ට එරෙහිව අඩන්තේට්ටම් කිරීමෙන් වලකින ලෙසයි.

ආණ්ඩුවේ ‘වෙස් මුහුණ’

රටින් පිටතදී ‘වෙස් මුහුණක්’ පැළඳ කටයුතු කරමින් රට තුලදී මානව හිමිකම් ක්‍රියාධාරීන් දඩයමේ යෙදෙන බවට ලීනා මැලේසියා ආණ්ඩුවට  චෝදනා කළාය.

වාරණ මණ්ඩලයේ අවසරයකින් තොරව චිත්‍රපටයක් තිරගත කිරීම ලීනා ට එරෙහිව නගා ඇති චෝදනාවයි.

මැලේසියාවේ ෆ්රීඩම් චිත්‍රපට උළෙල එකොලොස් වාරයක් සංවිධානය කර ඇති ලීනාට නඩු පවරා ඇත්තේ  ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව චෝදනා කෙරෙන දර්ශන රැගත් කැලම් මැක්රේ ගේ ‘නෝ ෆයර් සෝන්’   වාර්තා චිත්‍රපටිය 2013 ජූලියේදී ප්‍රදර්ශනය කිරීමට එරෙහිවය.

“මේක සැබවින්ම මානව හිමිකම් සහ ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ බවට චෝදනා කෙරෙන අපරාධ පිලිබඳ කාරණයක්,” ලීනා හෙන්ඩ්රි වැඩිදුරටත් පැවසුවාය.

ලීනා හෙන්ඩ්‍රි ට එරෙහි නඩුව ඉවත් කරගන්නා ලෙස ජාත්‍යන්තර විද්වත් සමුහයක්ද, සියයකට අධික සංවිධාන සංඛ්‍යාවක්ද  මැලේසියා රජයෙන් ඉල්ලා ඇති අතර  ඇගේ නිදහස වෙනුවෙන් මහජන පෙත්සමක්ද අන්තර්ජාලය ඔස්සේ දියත් කර තිබේ.
http://www.radiogagana.com