මිනිස් ජාවාරමක් ! බෝට්ටුවෙන් රීයූනියන් ගිය ශ්‍රී ලාංකිකයින් යළි හරවා එවයි !

0
63

_105635554_gettyimages-957530942-594x594හලාවත මුහුදු තීරයේදී ධීවර බෝට්ටුවක නැග ප්‍රංශයට අයත් රීයූනියන් (Réunion) දිවයින වෙත ගිය ශ්‍රී ලාංකිකයන් හැත්තෑ දෙදෙනාගෙන් හැත්තෑ දෙනෙකු හෙට (පෙබරවාරි 14) පෙරවරුවේ ප්‍රංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

මෙම පිරිස අතර අදාළ ධීවර යාත්‍රාවේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සිටින බව මේ පිළිබඳ කළ විමසීමක දී ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ සඳහන් කළාය.

මේ වන විට, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ පිළිබඳ නිල වශයෙන් ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

බෝට්ටුවේ යාත්‍රා කළ පිරිස අතරින් දෙදෙනෙකු එරට රඳවා තබා ගන්නා බව ප්‍රංශ බලධාරීන් දැනුම් දී තිබේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණි වහාම ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට ගැනීමට නියමිතය.

මිගමුව ධීවර වරායෙන් දියඹට ගිය ‘ජේ ප්‍රශංශා’ නැමැති බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි මස නව වනදා හලාවත මුහුදේ දී පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකු පටවාගෙන ශ්‍රී ලංකාවට වම් පසින් ඉන්දීය සාගරයේ මැඩගස්කරයට ආසන්නයෙන් පිහිටි ප්‍රංශයට අයත් රීයූනියන් දිවයිනට නීතිවිරෝධීව ඇතුළු වූ බව එරට බලධාරීන් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට දැනුම් දෙනු ලැබ තිබිණි.
බෝට්ටුව එම දිවයිනට ඇතුළුවී තිබුනේ දින විසිපහක කාලයක් යාත්‍රා කිරීමෙන් අනතුරුව ය.

යාත්‍රාවේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය මම මිනිස් ජාවාරම පිටුපස සිටින බව බහුදින යාත්‍රාවේ හිමිකරු මිගමුව පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

සිය දියණිය ඉතා බරපතළ තත්වයේ රෝහල් ගතව සිටින බැවින් මාස තුනකට ආසන්න කාලයක් ධීවර කටයුතු පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ බව පවසන හිමිකරු තම යාත්‍රාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවැනි ධීවර බෝට්ටු කිහිපයක් රීයූනියන් දිවයිනේ ඇති අතර ඒවා නැවත ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
BBC sandeshaya