මිනිසා සිය හොඳම මිතුරාට ද්‍රෝහී වීම ; චීනයේ Yulin උත්සවය

0
222

මිනිසාගේ හොඳම මිතුරා ලෙසට බොහෝ කලක සිට හැඳින්වෙන්නේ බල්ලන්. එහෙමත් නැතිනම් සුනඛයන්. සුරතලයට ඇති කරන බල්ලා සහ උගේ ස්වාමියා අතර ඇති සබැඳියාව ඇතැම් විට වචනවලින් විස්තර කිරීමට පවා අපහසුයි. නමුත් චීනයෙන් අපට අසන්නට ලැබෙන මේ කතාව නම් ඔබේ හද සසල කරවන බව ඒකාන්තයි. Yulin (යුලින්) කියන්නේ චීනයේ ශාන්සි පළාතේ නගරයක්. මේ දවස්වල නගරයට යන බොහෝ දෙනෙකුට ඝාතකාගාර අසල දැකගන්න ලැබෙන්නේ දුගඳ හමන අපිරිසිදු ජලය , බලු ලොම් , ලේ සහ පුළුස්සා දැමුණු හම් කැබලි ය. එක පසෙක බල්ලන්ගේ සහ පුසන්ගේ අභ්‍යන්තර අවයව ගොඩගසා තිබෙනු දැකගන්නට ලැබිණි. ඒ අතරම තවත් පසෙකින් කූඩු වල සිරගත කර ඇති බල්ලන් දැකගන්නට පුළුවන්. උන්ගේ දෑස් වල ඇති ඒ දුක්මුසු ස්වරුපයත් ඒ සමඟ කැටි වී ඇති මරණ බයත් හොඳින්ම දිස්වේ.

කුමක් ද මේ Yulin උත්සවය? අපි ඒ ගැන සොයා බැලුවා. යුලින් යනු වාර්ෂිකව පැවැත්වෙන සැණකෙළියක්. මෙම උත්සවයට සැමරීම සඳහා බලු මස් ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිතයි. මෙය සාමාන්‍යයෙන් ජුනි මාසයේ පැවැත්වෙන අතර මේ වසරේ 21 සහ 22 දින මේ සඳහා යොදාගැනීමට කටයුතු සුදානම් කර අවසන්. වාර්ෂිකව පැවැත්වෙන මේ උත්සවය සඳහා අවශ්‍ය බලු මස් සපයාගැනීම සඳහා බොහෝ විට නිවෙස් වලින් සොරාගන්නා සහ වීදිවල වෙසෙන සුනඛයන් 10,000ක් පමණ යොදාගන්නා බව සත්වා හිංසනය පිටුදැකීමේ ක්‍රියාකාරීන් පවසනවා.

වාර්ෂිකව සිදු වන මේ ඇති විශාල සත්ව හිංසනයට එරෙහිව චීනයේ විවිධ ප්‍රදේශ වල මෙන්ම ලොව පුරා විවිධ සත්ව හිංසනය පිටු දැකීමේ ව්‍යාපාර වල ක්‍රියාකාරීන් ද දැඩි විරෝධයක් එල්ල කරමින් පවතියි. #stopyulin2015 යන හෑෂ්ටැග් එක යටතේ ලොව පුරා සමාජ ජාල වෙබ් අඩවි පුරා මේ සඳහා විරෝධය එල්ල වෙමින් පවතියි.

කෙසේ නමුත් මේ ක්‍රියාකාරකම් වලින් චීන රජයට ඇති බලපෑම ප්‍රමාණවත් නොවන බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. මෙයට එක ප්‍රධාන හේතුවක් වන්නේ චීනය සිය රට තුල ඇති අර්බුද විසඳීම සඳහා විදෙස් රටවල උපදෙස් ලබාගැනීමට ඇති අකමැත්තයි. එමෙන්ම Facebook සහ Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි එරට තහනම් කර ඇති නිසා මේ ජන මතය එතුල ව්‍යාප්ත කිරීමට බාධා පවතියි.

මේ බලු මස් ආහාරයට ගැනීමේ උත්සවයේ ආරම්භය 1990 දශකයට දිවෙන අතර මේ සම්ප්‍රදාය බොහෝවිට පවතින්නේ වැඩිමහලු පුද්ගලයන් අතර බවටත් දැනගන්නට ලැබේ. මේ මස් අනුභාවයෙන් ඔවුනට ඉහල ශරීර උෂ්ණත්වයක් පවත්වාගැනීමට හැකි ය යන මිත්‍යා මතය නිසා බොහෝ විට ඔවුන් මේ සඳහා යොමුවෙයි. වසර 4ක් පුරා කෙරුණු සමීක්ෂණයකට අනුව වසරකට පරිබෝජනය සඳහා බල්ලන් මිලියන 10ක් පමණ චීනය තුල ඝාතනය කෙරෙන බවට රාජ්‍ය නොවන සංවිධාන වාර්තාවල පැවසේ. මේ සඳහා යොදාගන්නා බොහෝ සුනඛයන් නිවෙස් වලින් සොරාගන්නා ලද හෝ තැරැව්කරුවන් මාර්ගයෙන් මිලදී ගන්නා සතුන් බවත් පැවසෙනවා.

මෑත කාලය තුල චීනය තුලම මේ සඳහා විශාල විරෝධතාවක් පැන නැගෙමින් පවතිනවා. මේ සඳහා 350,000ක් පමණ එක් රැස්වී ඇති බවත් පැවසෙනවා.

2011 දී විශාල ජනමතයක් ගොඩ නගා Zhejiang පළාතේ පැවති මෙවැනිම උත්සවයක් නවත්වා දැමීමට සමත්වී තිබෙනවා. ඇති වී තිබෙන ජනමතය නිසාම චීන රජය මේ උත්සවය තවදුරටත් ජාතික උත්සවයක් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාවගේ බලපෑම තුලින් මේ අමානුෂික ක්‍රියාව යටපත් කිරීමට හැකි වෙතැයි මේ උත්සවයට එරෙහිව කටයුතු කරන සත්ව ක්‍රියාකාරීන් අපේක්ෂා කරනවා.

බොහෝ පුද්ගලයන් මේ උත්සවය සඳහා සුනඛයන් මැරීමට කටයුතු කරන්නේ තම ජීවිකාව ලෙස බවටත් පවසනවා. එම නිසා ඇති වන විරෝධයට එරෙහිව නැගී සිටීමට ව්‍යාපාරිකයින් ද කටයුතු කරනවා.

සෑම සතෙකුටම ජිවත් වීමේ අයිතිය පවතියි. එය ඔබටත් මටත් වෙනස් කිරීමට නොහැකි ලෝක ධර්මතාවයකි. සොබාදහමට එරෙහිවීමෙන් මිනිස් වර්ගයා සිය විනාශය ලං කරගැනීමක් වැනිය. සියලු සතුන්ගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම ඔබ සතු යුතුකමකි, වගකීමකි.

sira.lk මඟින් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here