මිනිසුන් වැලලුන තැන්වල ජීවත් වන පවුලක්

0
504

 

kathha 6
දරුවන් තිදෙනාගේ ලෑලි සහනය

මේ ලොවපුරා කිතුණු බැතිමතුන් වැලපෙන සමයයි.දේවමෑනියෝ එදා  තම කුස තුල උන් ජේසු බිළිදුන් දරාගෙන නවාතැන් සෙවූ නමුත් එදා සිටි ධනපති සමාජයේ කිසිවෙකුත් ඔවුන්ගේ නවාතැන් ඇයට දෙන්නට කැමති නොවීය. එබැවින්  ඇයට කාගේ හෝ නිවසක ගව මඩුවකට ගොස් සිය බිළිදුන්ට උපත දෙන්නට සිත හදාගත්තාය. ඒපමණක් නොව දිළින්දන් හට නොසැලකූ ඔවුන් තලා පෙලා දැමූ දුෂ්කර කාලයක දී ජේසුතුමන්ගේ මව්පදවිය දරන්නට තරම් නිර්භීත මාතාවක් විය.
දේවමෑනියන් පිළිබඳව අන්ධ භක්තියකින් වෙලී ඇති සමාජයකදී  ස්වර්ණලතා වැනි අම්මලා ට සිය දරු  උපත වෙනුවෙන් සුසාන භූමියක් සොයා යාමට සිදුවීම පුදුමයක් නොවේ
මිනිසුන් මියැදුන පසු වැළලීමට යන   සුසාන භූමියකට ස්වරණලතා සිය තුන්දරු සිගිත්තන් කැටුව ගියේ ජීවත්වීම උදෙසාය.
දැන් ඔවුන් ජීවත් වන්නේ ජා ඇල – කණුවන  කතෝලික සුසාන භූමියේ එක මුල්ලකය. ඇය 37 හැවිරිදි මවකි.  ඔහුගේ  සැමියා ක්‍රිෂ්ණ කුමාර් ,42 හැවිරිදිය.  අවසාන වරට ජීවත්වූ කුලී නිවසින් පිටව ආවේ  කුලී ගෙවා ගන්නට  ද බැරිවූ තැනදීය.  විවිධ හැල හැප්පීම් අඩන්තේට්ම් මැද  කුසේ දරුවෙකුත් දරා සිටි ස්වරණලතා සිය සැමියා සමග මහමගට බැස්සේ කොහේ හෝ තැනක් සොයා ගන්නටය. ඒ එන අතරදී බත් මුල ලිහාගෙන කන්නට කනත්ත අසල නැවතී හුන් වේලාවේදී  මෙතනත් ජීවත්විය හැකි ‍නොවේදැයි යන සිතිවිල්ල සිතට නැගුන බව ඇය පැවසුවාය.
එතැන් පටන් අඩි 10 ක පමණ දිගැති කනත්ත කෙලවරේ ඉඩක ගල් සහ  සිමෙන්ති  අතුරා වහලට තහඩු කැබලි අටවාගෙන , දරුවන්ට නිදන්නට මැස්සක් ද ගසාගෙන මෙම ගෙපැලේ ස්වර්ණලතාත් ,සැමියාත් දරුවන් තිදෙනාත් ජීවත්වේ.  පිළිවෙලින් අවුරුදු දෙකත්, අවුරුදු 3 ත් , අවුරුදු 5 කුත් වයසැති දරුවන් 3 දෙනෙකු ඔවුන්ට සිටිති.
සැමියා රැකියාව ලෙස පොල් කැඩීම සිදුකරන අතර කනත්තේ මිනී වලවල්   කැපීමෙන්ද ඔවුන් ජීවිකාව සරිකර ගනිති. සැමියා කුලී වැඩකට පිට ගිය දවසකට ස්වර්ණලතා සුසාන භමියේ මිනී වලක් කැපීමට ලැබුණොත් එයත් ඇය තනි දෑතින් කපන්නට බාරගන්නා බව පැවසුවාය.  මිනී වලක් කැපීම ගැන ඇති සතුට අසතුට , හා මානසික අපහසුව ගැන විමසූ විට ඇය මෙසේ කීවාය ‘‘ සමහර දවස් වල මම තනියම මිනී වලවල් කපද්දි මීනී ඇට කටු හම්භ වෙනවා. මම ඒවා සුද්ධ කරගෙන  කපනවා. සමහර විට අමු  මිනී වල  කොටස් අහුවෙනවා. ඒහෙම වුණාම ඉතින් ඒක නවත්තලා ආපහු වලක් කපන්ඩ වෙනවා. එක වලක් කැපුවහාම  රුපියල් 1200ක් හොයා  ගන්නවා‘‘


පානීය ජලය පාරේ ටැප් එකකින් සපයා ගන්නා මෙම පවුලට ආලෝකය ලැබෙන්නේ පාරේ ලයිට් කණුවෙනි. වැසිකිලි පහසුකමක් නොමැති අතර ඔවුන්ගේ ජීවිතය මෙම අඩි කීපය තුළ
ගෙවා දමයි. ඔවුන්ගේ  ජීවිතය එසේ ගෙවී යයි. සුසාන භූමියද දැන් ඔවුන්ගේම පරිසරයේ කොටසක් ලෙස බාරගෙන එයද පිරිසිදු කරමින් තබාගනියි. ඔවුන්ගේ ගෙපැල ලඟම ඇති සොහොන් කොත රංගන ශීල්පී ශාන්ති ලේඛා මහත්මියගේ සොහොන් කොතයි.


ස්වරණලතා පවසන පරිදි දැන් දරුවන් පාසල් යවන්නට ඕනෑය. තැන් කීපයකට ගියත් ඒ තැන් වලින් ඔවුන් ඉන්නා තැනක ලිපිනයක් විමසයි. සුසාන භූමියකට  ලිපිනයක් නොමැත. මන්ද මිය ගියවුන් සිටිනා තැනකට ලිපිනයක් අවශ්‍ය වන්නේ නැති හෙයිනි. නමුත්  මිය ගියවුන්සේ ජීවත්වන මිනිසුන් සිටින සමාජයක ස්වරණලතාලාට ක්‍රිෂ්ණලාට අලුත් ජීවිතයක් ලබාදෙන්නේ කෙසේ ද?
ඇමතිවරයෙකුගේ අනුග්‍රහයෙන් මේ පවුලට මුලික පහසුකම් සපුරා නැති නිවසක් කැළණිය ප්‍රදේශයෙන් ලැබි ඇතැයි ක්‍රිෂ්ණා පවසයි.
දරුවන් පාසැල් යැවිම මේ අයගේ දැන් ඒකායන පැතුම වි ඇති හෙයින් කෙසේ හෝ ඒ නිවසේ අඩුපාඩුකම් සපුරාගෙන එහි පදිංචියට යෑමට බලා සිටිති
කාගේ හෝ උදව්කින් ඒ පැතුම ඉටුකරගෙන ඉක්මනින් දරුවන් පාසැල් යැවිමේ සිහිනය පමණක් තුරුළු කරගෙන මේ දෙමහල්ලෝ දරුවන්ට සිය ලැලි තට්ටුව නිදි යහන කොට දි එළිමහනට වි රාත්‍රිය ගෙවති.


ඡායාරූප හා තොරතුරු මූලාශ්‍ර /  ප්‍රසාද් මුතුකුඩ