මීගමුවට අමතකවූ සම්මාන ලාභී පුංචි කලාකරුවා !

0
385

IMG-20200102-WA0000

ලාංකීය කලා ඉතිහාසය තුළ මීගමුව යනු අමතක නොවන සටහනක් තැබූ නගරයකි. මේ සඳහා මූලිකත්වය ගත් එම කලාකරුවන් පිළිබඳව නම කී පමණින් ඕනෑම අයෙකුට හඳුනා ගත හැක. මේ අය අතර සමහර අය තම ජීවිතය කලාව වෙනුවෙන් වැය කළද හුදෙකලාව දිවි ගෙවයි. එවැනි කලාකරුවෙකු මීගමුව , අඟුරුකාරමුල්ල , පුංචි පංසල පාරේ , නිහඬ ජීවිතයක් ගෙවයි . පුංචි සිරුරක් ඇත්තෙක් වන ඔහු වාසය කරන පුංචි නිවස හඳුන්වනු ලබන්නේ ගුරු ගෙදර යන නමින්ය. පුළුන් වැනි රැවුල සහ දිග කොන්ඩය තුළින් ඈත සිටියදී පවා හඳුනා ගත හැකි ඔහු නමින් නිහාල් ද සිල්වාය.
නිහාල් අයියා යනුවෙන් අප අමතන විට ඔහු සිනාමුසු මුහුණින් අපව පිළිගනී . ඔහුගේ වදන් සරලය. කෙටිය . නිහාල් අයියට කලාභූෂණ සම්මානය ලැබුනු බව ඔහු හමූවූ එක් අවස්ථාවක මා සමඟ පැවසීය . නමුත් ඒ ගැන පැවසීම සඳහා විශේෂ උනන්දුවක් නොදැක්වීය. වැඩ සටහනකදී එසේ හමු නොවුනා නම් ඒගැන අප දන්නේ නැත . නිහාල් අයිය ගැන ප්‍රකාශ වන්නේ එලෙසය.
නිහාල් අයියා නිර්මාණ රැසක් තුළින් සම්මාන රැසක් හිමි කරගෙන ඇත. ඒවා සියල්ල වීදුරු අල්මාරියක දමා ඇති අතර ඒවායේ දූවිලි බැඳී මකුළුවන්ට නිවහන් බවට පත්වී ඇත .

නිහාල් මහතාගේ දියණිය ශෂි මධුකා ද සිල්වා

මේ අතර මේ ගුරු⁣ගෙදර ගැන සහ එහි ජීවත්වන අනෙක් අය ගැනත් යමක් නොකිව්වොත් එය සාධාරණ නැත . නිහාල් අයියගෙ දයාබර බිරිඳ හේමකාන්ති පතිරාගී සංගීත වේදිනියක් . ඇය හරිශ්චන්ද්‍ර විදුහලේ සංගීත උපදේශිකාවක් ලෙස කලක් සේවය කළ අයෙක් . මේ දෙදෙනාට ඉන්න එකම දුව ශෂිකා මධුකා ද සිල්වා ශාන්ත්‍රපති උපාධි ලත් නර්තන ආචාරිනියක්. බෑනා ලහිරු අසංක සිගේරා ශ්‍රීලංකා පොලීසියේ නර්තන ශිල්පියෙක් . වයස අවුරුදු හය හමාරක් වන මුනුබුරා භූපති දුර්විෂ් සිගේරා නර්තනය තුළින් ලබාගත් සම්මාන රැසක හිමිකරුවෙක්.


ඔහු සමඟ කළ කතාබහේදි ගුරු ගෙදර සාමාජිකයින් හැරුණු විට නර්තනය ⁣ඉගෙන ගන්න එන දරුවන් ගැනද සිහිපත් කරමින් කතා කරයි. ඔවුන් ගුරු ගෙදර තමන්ගේ නිවස මෙන් පැමිණ කුස්සියට ගොස් කෑම පවා බෙදාගෙන කන තැනක් බවට පත්වී ඇති බව පවසයි . මේ අතර නිහාල් අයියා තම ජීවිත කතාව තවදුරටත් විස්තර කළේ මෙසේය. ” ඉලස්ටික් ජංගි අඳින කාලෙදි ඒ කියන්නෙ වයස අවුරුදු 10, 12 කාලෙදි මේ නිවසෙහි පවත්වපු පුංචි , පුංචි නාට්‍ය වලින් තමයි මේ කලා ජීවිතේ ආරම්භ කළේ. ඊටපස්සෙ මම ඉස්සෙල්ලම සම්මානයක් ගත්තෙ 1978. 1978 දි සම්මානය ගන්න කොට මම නාට්‍ය පාඨමාලාවක් වත් කිසිදෙයක් හදාරල තිබුනෙ නෑ. පස්සෙ තමයි හිතුවෙ මේ පිළිබඳව වැඩි දුර හදාරන්න කියල . ඒනිසා ලංකාවේ ප්‍රවීණ ශිල්පීන් යටතේ මේ රංගන කලාව හැදෑරුව. ටෙලිවිව් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරුව . එහෙම හදාරමින් ඉන්න අවස්ථාවෙදි තමයි දිගින් දිගටම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙන්න ලැබුනෙ.30 කට වැඩිය එහෙම සම්බන්ධ වෙන්න මලැබුන. මම වේදිකාවට ගෙනාව නිර්මාණ 7ක්. කෙටි නාට්‍ය 15 කට පමණ සම්බන්ධ වුනා. ජනප්‍රිය සහ ශ්‍රෙෂ්ඨ චිත්‍රපට කිහිපයකට දායකවුනා. ” යනුවෙන් ඔහු තම ජීවිත කතාව විස්තර කළා.
මෙම කලාභූෂණ සම්මානය ලැබීමට පෙර ඔහු නාට්‍ය,චිත්‍රපට මෙන්ම DVD චිත්‍රපට 4ක් කරමින් තම නිර්මාණ හැකියාව පෙන්නුම් කළ අතර කොරියාවේ විල්බා, අපි පංසල් යමු , අවුරුදු තෑග්ග , බ්ලැක් මෑන් යන මෙම කෙටි චිත්‍රපට තුළින් ඔහු සමාජය දකින සහ විග්‍රහ කරන ආකාරය තුළින් සහෘදයින්ට යම් පණිවිඩයක් දිමට උත්සාහ කළා .
කලා කටයුතු වලට අමතරව සමාජයේ පොදු කටයුතු වලටද ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන නිහාල් අයියා අන්තර් ආගමික සහජීවන සංවිධානය , ගමේ වැඩිහිටි සමිතිය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික කටයුතු සහ පංසලේ විවිධ කටයුතු වලටද මැදිහත්වෙයි. මේ නිසා නිහතමානීව තමන්ගේ හොඳ ,නරක අවබෝධ කර ගනිමින් ඉදිරියට යන මේ පුංචි වුවත් ⁣⁣ලොකු වැඩ කරන කලා කරුවාට ඉදිරියට යාම සඳහා අපි ශක්තිය සහ ධෛර්යය පතන්නෙමු !