මීගමුවේ අබිරහස් මරණය හා ජනජීවිතයේ අනාගතය

0
163

මිගමු දළුවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන බියකරු අපරාධ පිළිබඳව කැඩපතකි.

තිස්තුන් හැවිරිදි එක්දරු මාතාවක් වූ ශ‍්‍රීනි වාසනා සැප්තැම්බර් 25 වන දින සිය නිවසින් පිටව ගියේ බැංකුවට යෑමට හා කොණ්ඩය කපා ගැනීමටය. ඉක්මනින් ගෙදර එන බවත් ගෙදරට දවල් අහාරය සදහා කෑම ගෙන එන බවටත් පොරොන්දු වූ ඇයට ඉදිරි පැය ගණන තුළ මුහුණ දෙන්නට සිදුවන විපත පිළිබඳව යාන්තම් හෝ හෝඩුවාවක් නොතිබෙන්නට ඇත.

ඇය කොණ්ඩය කපා ගැනිමට හා මුහුණට ෆේෂල් එකක් කරගැනිමට ගියේ සුපුරුදු රූපලාවන්‍යාගාරයකටය. එහෙත් ඇය එම ස්ථානයේදි මුහුණදුන් තත්ත්වය තවමත් මුළුමනින් හෙළිදරව් නොවු අභිරහසක් ලෙස පවති.

මෙදිනෙන් සතිදෙකකට පමණ පසුව රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය හා ඇයගේ ස්වාමියා විසින් පොලිසියට කියා ඇති අයුරු ඇය යම් ආලේපනයක් නිසා කලාන්ත වූවා යැයි ද ඉන් ටික වේලාවකට පසු ඇය මියගියේ යැයිද ප‍්‍රකාශ කරයි. එය සිදුවුයේ එසේ නම් රූපලාවනාගාරයේ හිමිකරුවන් විසින් කල යුතු වූයේ හැකි ඉක්මනින් ඇය එම ස්ථානයට නුදුරින් පිහිටා තිබු රෝහලට හෝ මෙම ප‍්‍රදේශයේ සිටිනා වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමය. පහළ මහලේ කණ්නාඩි වෙළඳ ව්‍යාපාරයක් ඉහළ මාලයේ රූපලාවන්‍යාගාරයක් කරගෙන ගිය මෙම පවුලට මෙවැනි හදිසි අවස්ථාවක ගත යුතු වූ එම පියවර අමතක වූයේ කෙසේද? මෙම යුවල දුරකථන පාවිච්චියට පුරුදුව සිටියාට සැකයක් නැත. හදිසි අවස්ථාවකදි යම් ආධාරයක් අවශ්‍ය වුවා නම් දුරකථනය මගින් එය කරවා ගැනීමට බැරිකමක් ඔවුන්ට තිබුනේ නැත.

කෙසේ වුවත් මෙසේ තමන්ගේ සේවය පතා පැමිණි මෙම කාන්තාව ආගන්තුකයෙකු වුවා වෙන්නට බැරිය. ඇය යම් හදිසියකට මුහුණ දුන්නා නම් ඒ පිළිබඳව ඇයගේ දෙමාපියනට හෝ ලොයෝලා විදුහලට දැනුම් දිමට බැරිකමක් තිබුනේද නැත. එම ප‍්‍රදේශයේම ගුරුවරියක වූ ඇය පිළිබඳව හදිසි අවස්ථාවකදි යම් ආධාරයක් සොයා ගැනිමට අවශ්‍ය වුවා නම් එය කිරිමට කිසිදු බාධකයක් මෙම යුවලට පැවතුනේ නැත.

එහෙත් දැනට හෙළිදරව් කර ඇති තොරතුරු වලට අනුව ඔවුන් කලේ වෙනත් ක‍්‍රියාවන්ය. මියගිය සේවාදායිකාවගේ කරේ පැළඳ සිටි මාලත්, අතේ පැළඳ සිටි මුදු දෙකක්ද, අතේ පැළඳ සිටි බ්‍රේස්ලට් එකද ගලවාගෙන ඒවා උකස්කර මුදල් ලබා ගැනිමට මෙම යුවළ යොමුවිය. සේවාලාභියාගේ මළ සිරුර ගෙදර සෙල්ලම් බඩු දමන පෙට්ටියක දමා සඟවන ලදි. රාත‍්‍රි කාලය තුළම එසේ මළසිරුර සඟවා තබන ලදි. ?  පසු ව ඔවුන් හඳුනන රියදුරෙකුගේ ආධාරයද ලබාගෙන මළ මිනිය තිබු එම පෙට්ටිය වාහනයක දමාගෙන බොහෝ දුරක් ගමන් කොට හැඳල පාළු ස්ථානයකදි වාහනය නවත්වා එම පෙට්ටිය එහි දමා පැනයන ලදි. ඉන් පසු සති දෙකකට වැඩි කාලයක් මෙම රහස සගවාගෙන කිසිවක් නොදන්නවුන් සේ මේ තිදෙනාම හැසිරුනහ.

මේ සිද්ධියෙන් ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. මෙම පෙට්ටිය රථයේ දමාගෙන ගිය රියදුරා මෙම සිද්ධියට සම්බන්ධවුයේ ඇයි? හුදෙක්ම වාහනය එළවා කුළියක් ලබාගැනිම සදහා මෙවැනි කටයුත්තකට සාමාන්‍ය රියදුරෙකු සහභාගි කරවා ගත නොහැකිය. රියදුරු එසේ සම්බන්ධවිමට යම් හේතුවක් තිබිය යුතුය. ඒ හේතුව කුමක්ද? මේ දක්වා පොලිසිය විසින් ප‍්‍රකාශයට පත්කොට ඇති තොරතුරු වලින් රියදුරුගේ මෙම හැසිරීම පිළිබඳව කිසිදු කරුණක් හෙළිදරව් කර නැත.

මෙහිදි මතුවන සාධාරණ ප‍්‍රශ්නයක් ඇත. මේ රියදුරු අපරාධයට සම්බන්ධ මෙම යුවළ වෙනුවෙන් මෙවැනි කටයුත්තක් කළ පළමු වතාව මෙයද? මීගමු ප‍්‍රදේශයේ තවත් අභිරහස් සිදුවීම් ගණනාවක්ම වාර්තාවී ඇතැයි කියවෙන හෙයින් ඉහත සදහන් ප‍්‍රශ්නයට මෙම රියදුරුගෙන් ලැබෙන උත්තරය සමහර විට මෙම මරණය පිළිබදව අභිරහස පමණක් නොව වෙනත් අභිරහස් විසදා ගැනිමටද අධාර වීමට බැරි නැත.

මේ සියළුම සිද්ධින් තුළින් මතුවන ගැටළුව නම් මේ මරණය සිදුවූයේ අපරාධයට සම්බන්ධ යැයි කියන යුවල විසින් කියන ආකාරයටද? නැතහොත් වෙනත් ආකාරයකින්ද යන්නය. රූපලාවනාගාරයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව එම සේවයේදි භාවිතා කරන ආලේප පිළිබඳව දැනුමක් නොතිබුණු අයෙක් වීමට බැරි නැත. එවැනි අයෙකු තමන්ගේ සේවාලාභිනට විපත්තිදායක විය හැකි ආලේප හා මිශ‍්‍රන වලින් වැළකි සිටිමට දැණුමක් ඇත්තියක යැයි සිතිම සාධාරණය. එසේ නම් හුදෙක්ම අහම්බයක් ලෙස කලාන්ත විමක් සිදුවුණු බවට දැනට ප‍්‍රසිද්ධියට පත්කර ඇති කරුණු සැබෑ විය හැකිද?

ලංකාවේ පොලිසියට කටඋත්තර ගැනිම හැර වෙනත් විශේසඥ ඥානයක් නොතිබෙනවා විය හැකිය. එසේ නම් පොලිසියේ යුතුකම වන්නේ මේ සිද්ධියට අදාල රසායනික කරුණු පිළිබඳව අවබෝධයක් ඇති විශේසඥවරුන්ගේ සහාය ලබාගැනිම මගින් මේ සිද්ධිය සිදුවුනා යැයි කියන ආකාරය ගැන අපරාධය පිළිබඳව සැකකාරිය විසින් කියන කථාවේ සත්‍ය අසත්‍යභාය ගැන විද්‍යාත්මකව සොයා බැලිය යුතුව ඇත. දැනට හෙළිදරව් කර ඇති කරුණු වලට අනුව එවැන්නක් කෙරි ඇති බවට සාක්‍ෂි නැත. මෙවැනි කරුණක් පිළිබඳව නිසි උපදෙස් ලබා නිසි පරික්‍ෂණ පැවැත්විම පොලිසියේ යුතුකම සේ පවති.

කාන්තාවක් කලාන්ත වූ විගසම මියයන්නේ නැත. යමෙක් කලාන්ත වෙනවා දකින තවත් අයෙකු සාමාන්‍යයෙන් ගන්නා ප‍්‍රථමාධාර බොහෝ සෙයින් පවති. මෙම සැකකාරිය විසින් එසේ ගෙන ඇති පියවර මොනවාද? හුදෙක්ම කලන්ත වුනා ඉන්පසු මියගියා යනුවෙන් කියන කරුණ පිළිබඳව සැබෑ තත්ත්වය වෛද්‍යවරුන්ගේ උපදෙස් තුළින් සොයාගත හැකිය. කලාන්ත වූයේ කියටද? ඉන්පසු මරණය සිදුවි ඇත්තේ කොයි වේලාවේද යන්න පිළිබඳව තහවුරු කිරිමට වෛද්‍යවරුනට පුළුවන. මේ තුළින් මෙම සිද්ධිය වූ ආකාරය පිළිබඳව වැඩි අවබෝධයක් ලබාගත හැකිය.

මේවා සෙවිමේ වැදගත්කම ඇත්තේ මිනිමැරුමක් හා අහම්ඹයෙන් සිදුවූ හදිසි අනතුරක් අතර අපරාධ නිතිය ඉදිරියේ විශාල වෙනසක් පවතින නිසාය. අපරාධ පරික්‍ෂණයේ අඩුපාඩු තුළින් මෙම සිද්ධිය පිළිබඳව යථා තත්ත්වය දැන් හෙළිදරව් නොකල හොත් එම අඩුපාඩුවේ වාසිය ලබාගැනිමට මෙම මහා අපරාධයේ අපරාධකරුවන් උත්සාහ කරණු ඇත.

මෙය සාමාන්‍ය අපරාධයක් නොවේ. තමන්මත විශ්වාසය තබා තමන්ගේ සේවා සොයා පැමිණි අයෙකුගේ මරණයත් එම මරණයෙන් පසු කර ඇති සොරකම් හා මරණය වසන් කිරිමට ගෙන ඇති උපාය මාර්ග සාමාන්‍ය ජනජිවිතයේදි අසන්නට ලැබෙන අපරාධයකට වඩා බරපතල කමක් මෙම සිද්ධිය තුළ පවතින බව හෙළිදරව් කරයි.

සමාජය තුළ මෙතරම් විශාල අපරාධ සිදුවිමට පටන් ගෙන තිබිම මෙම අපරාධකරුවන් පිළිබඳව පමණක් නොව මුළු සමාජය පිළිබඳවත් සමාජයේ ආරක්‍ෂාවට පවතින නිතිමය සංස්ථාවන්ගේ ඇති වී ඇති අර්බුදය පිළිබඳවත් හඩගා කියයි. මියගිය අයෙකුගේ ආභාරණ ගලවා ගෙන ඒවා උගස් තියා තමන්ගේ ණයක් බේරාගැනිමට පෙළඹෙන තරමට ප‍්‍රසිද්ධ ව්‍යාපාර ගෙනයන්නන් දෙදෙනෙකු මෙසේ හැසිරිම අද සිදුවෙමින් පවතින සමාජ පරිවර්ථනය පිළිබඳව බරපතල ලෙස හෙළිදරවු කරයි.

මීගමු ප‍්‍රදේශය බොහෝ කලෙක සිට අපරාධ සම්බන්ධයෙන් ඉතා අවාසනාවන්ත තත්ත්වයක පවති. එම ප‍්‍රදේශයේ බොහෝ කලක් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක වශයෙන් සිටි සෝමසිරි ලියනගේ මහතා දැන් බරපතල අපරාධ චෝදනා මත රිමාන්ඞ් භාරයේ සිටි. ඔහුට ඇති චෝදනාව වන්නේ යම් සැකකරුවෙකු විසින් ඉහළ පොලිස් නිලධාරියෙකුගේ ගෙදරින් සොරා ගන්නා ලද විශාල වටිනාකමක් ඇති ස්වර්ණාභරණ එම සැකකරුගෙන් ලබාගෙන මෙම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා තමන් සතු කරගත් බවය. පොලිස් මූලස්ථානය තුළම මෙවැනි විශාල අපරාධ සිදුවන තත්ත්වයක් තුළ වෙනත් අපරාධ කරුවන් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරවා ගැනිම සඳහා තවත් බරපතල අපරාධ කිරිම එතරම් පුදුමයක් නොවේ.

බරපතල අපරාධ පිළිබඳව පවා පරික්‍ෂණ නොකරන තත්ත්වයක්ද මිගමුව ප‍්‍රදේශය තුළ බොහෝ කාලයක් තිස්සේ පවති. එය හෙළිදරව් කරන එක් සිද්ධියක් නම් සුගත් නිශාන්ත ප‍්‍රනාන්දු යන අයට අදාලව සිදුවු සිදුවිම් ගණනාවකි. මුළින් ඔහුගෙන් අල්ලස් ගෙන ඉන් පසු ඔහු ඊට විරුද්ධව පැමිණිලිකල නිසා ඔහුටත් ඔහුගේ පවුලටත් බරපතල පොලිසිය විසින් පහර දෙන ලදි. එසේ පහරදුන් බවට නම්කර තිබු පොලිස් නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙන්ම ඉහත සදහන් මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයාද ඇතුළත් විය. ඉන් පසු ප‍්‍රනාන්දු මහතා මේ පිළිබදව ගොණුකල මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙස ඔහුට විරුද්ධව බලකෙරුණු  අතර එසේ නොකල හොත් ඔහු මරාදමන බවට තර්ජනය කරන ලදි. ඉන් පසු මහ දහවල් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඔහුට වෙඩිතබා මරාදමන ලදි. එම මරණයට පරක්‍ෂණයක් පවත්වන ලෙස පවුලේ උදවියත් මානව හිමිකම් ව්‍යාපාරත් මාධ්‍යයත් විසින් කරණ ලද ඉල්ලිම් නොතකා හරින ලද අතර මෙම සිද්ධිය සිදුවි අවුරුදු දෙකකට වැඩි කාලයක් දැන් ගතවි ඇති නමුත් මරණ පරික්‍ෂණයක් සිදු නොවිය. ඒ වෙනුවට ප‍්‍රනාන්දු මහතාගේ බිරිඳ හා දරුවන් මරාදැමිමේ ප‍්‍රයත්නයන් මාස ගණනාවක් තිස්සේ පැවති අතර අවසානයේ ඔවුන්ට තමන්ගේ පණ ගලවා ගැනිම සඳහා රටින් පිටවි යෑමට සිදුවිය.

මීගමු ප‍්‍රදේශයේ නුදුරු අතිතයේදි පැවති මහා පරිමාණ අපරාධ මෙවැනි කෙටි ලිපියකින් විස්තර කල නොහැක. එහෙත් මේ සියළු අපරාධ තුළින් මතුවි ඇති තත්ත්වය නම් අපරාධවලින් පිරි අඝාධයක් බවට මීගමු ප‍්‍රදේශය පත්වි තිබිමය. මේ අතින් මිගමුව විශේෂ තැනක් නොවේ. ලංකාව පුරාම අද පවතින්නේ මෙවැනි අපරාධයන්ගෙන් පිරි නිතිය කඩා වැටුනු අපරාධකාරයන්ගේ පාරාදිසියකි. සමාජයේ සෑම කටයුත්තක්ම කෙරෙන්නේ මැරවරයන් හා අපරාධකරුවන් මාධ්‍ය කොටගෙනය.

සංගිත ආචාරිනි ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මියගේ මරණය තුළින් මතුකරන සමාජමය ප‍්‍රශ්නය නම් නිතියේ ආධිපත්‍යය නැතිවි ඇති ලාංකිය සමාජය තුළ එය නැවත තහවුරු කරගැනිම සඳහා ගතයුතු පියවර පිළිබඳව අවබෝධයකට ලගාවි එම ප‍්‍රශ්නයට මුහුණදිමය. ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා දැන් ඇතිවිය යුතු මහජන ව්‍යාපාරය නම් නිතිය ස්ථාවර කරගැනිම සදහා ඇතිකරගත යුතු ව්‍යාපාරයකි. එසේ කිරිමට පමාවෙන සෑම දිනයක් පාසාම රූපලාවන්‍යාගාර තුළ පමණක් නොව සෑම අස්සක මුල්ලකම මෙවැනි මහත් අපරාධ හා විපත් සිදුවනු ඇත.

නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු