මීගමුවේ ප්‍රධාන පාසැල්වල දරුවන් ඉලක්ක කරගත් ජාවාරමක් ?

0
53

ශ්‍රීලංකාවේ බුද්ධිමතුන්ගේ පළාත බවට පත්ව තිබුණේ බස්නාහිර පළාතයි. නමුත් වර්ථමානය වන විට කිසියම් හේතුවක් නිසා හෝ හේතූන් නිසා එම තත්වය වෙනස් වෙනන්ට පටන් අරන්. විශේෂයෙන් උසස් පෙළ ප්‍රථිඵල අතින් වසරින් වසර බස්නාහිර පළාත පිරිහෙමින් පවතින බවක් දක්නට ලැබෙනවා.
මේ සදහා හේතූන් සොයා නියමිත විසදුම් සෙවීමට අදාල බලධාරීන් යොමු වීම ඉතාමත් වැදගත්. එසේත් නැතිනම් බස්නාහිර පළාත විශේෂයෙේ ගම්පහ දිස්තික්කය වැඩි පහසුකම් ඇති එහෙත් ඉන් ප්‍රශස්ථ අයුරින් ප්‍රයෝජන නොගන්නා ලංකාවේ ප්‍රධානතම දිස්ත්‍රික්කය විම නොවැලැක්විය හැක.

විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම හා දියුණුම නගරය වන මීගමුව නගරයේ පවතින පාසල් වෙත හා පාසල්යන වයසේ දරුවන්ට නගරය තුල ඇති අභියෝගයන් පිළිබදව කතිකාවතක් ගොඩනැගීම කාලෝචිත වී තිබෙනවා.ඒ සදහා අදාල බලධාරීන්ගේ අවධානය යොමුවනු පිණිස මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි යැයි සිතනවා.

මීගමුව ප්‍රදේශයේ ප්‍රධානතම ජාතික පාසල වන හරිස්චන්ද විද්‍යාලය මෙන්ම,සාන්ත මරියා, සාන්ත පීතර හා මාරිස්ටෙල්ලා විදුහල් වල මේ වන විට විශාල පිරිමි ළමුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා. ඒ ළමුන් මේ වන විට අධ්‍යාපනයට හරස් වන ආකාරයේ විශාල අභියෝගයන් රැසකටද මුහුණ දෙමින් සිටිනවා. ඒ අතරින් මත් පෙති හා මත් කුඩු ප්‍රධානයි. අපගේම වරදින් හෝ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ගේ වරදින් දරුවන් ඉතාමත් පහසුවෙන් එහි ගොදුරු බවට පත්වෙමින් සිටිනවා.

drug

විශේෂයෙන් වර්ථමානය වන විට දෙමව්පියන්ගේ කාර්‍යබහුල ජීවන රටාව, උපකාරක පංති  රැල්ල හා නවීන තාක්ෂණයට හා සමාජ ජාලා වෙබ් අඩවි වෙත යොමු වීමට දරුවන්ට ඇති අසීමිත නිදහසත් මේ සදහා ප්‍රධාන හේතු වශයෙන් දක්වන්නට පුළුවන්. මේ හේතූන් නිසාම දරුවන් හා දෙමව්පියන් අතර වර්ධණය වන දුරස්ථභාවයත් මීට එක් හේතුවක්. සමාජ ජාලා වෙබ් අඩවි පිරික්සීමේදී පාසල් යන වයසේ ඒ අතරිනුත් විශේෂයෙන් සාමාන්‍ය පෙළ හෝ ඊට අඩු වයස් මට්ටම් වල දරුවන් එම වෙබ් අඩවි වල හැසිරෙන ආකාරය ඇතැම්විට අතිශයින්ම දුක්ඛදායි නොවේද ?
එම නිසාම කල් නොගොස් මේ සදහා විසදුමක් සෙවීමට අපි ඉක්මන් විය යුතුයි. එසේත් නැතිනම් මෙහි අවසානය කුමක් වීද යන්න පිළිබදව සිතා ගැනීමට අපටවත් නොහැකි වනු ඇති.

දෙමව්පියන් ඔවුන්ගේ කාර්‍යබහුල ජීවන රටාව තුල වූවත් දරුවන් පිලිබදව විමසා බැලීමට ඔවුන් සදහා කථාබහ කිරීමට අදහස් හුවමාරු කර ගැනීමට කාලය සොයා ගත යුතු වෙනවා. ඒ ඔස්සේ දරුවන් එදිනෙදා මුහුණ දෙන ගැටළු පිලිබදව දැන ගැනීමටත් ඊට අවශ්‍ය විසදුම් දරුවන්ට සොයා දීමටත් ඔබට හැකි වනු ඇති. ඒ අතරම දරුවන් කුළුපගව ඇසුරු කරන පුද්ගලයන් කවුරුන්ද, ඔවුන්ගේ පවුල් පසුබිම කෙසේද, දරුවන් අත නිතරම මුදල් ගැවසෙනවාද, එම මුදල් ඔවුන් වියදම් කරන්නේ කුමක් සදහාද පිළිබදවත්න් දැනගෙන සිටීම වැදගත්. නමුත් මේ පිලිබදව විමසා බැලීමේදී තමන් දරුවා පිලිබදව සැක කරනවා යන හැගීම දරුවාට දැනෙන්නට ඉඩ නොතිබීමට වග ලබා ගැනීමත් වැදගත් වෙනවා. නැතහොත් තත්වය තවත් දරුණු වන්නට ඇති ඉඩ වැඩියි. ඒ සදහා හොදම විසදුම වන්නේ දරුවන් හා මිතුරන් වශයෙන් ඇසුරුක් පවත්වා ගැනීමයි. දරුවා නිවසේ ගැවසෙන කාලය තුල දරුවාගේ හැසිරීමේ වෙනසක් ඇත්දැයි විමසිල්ලෙන් සිටීමත් වැදගත්. එමගින් දරුවන් කිසියම් හෝ අයුතු දෙයට ඇබ්බැහි වී සිටීද නැද්ද යන්න පිලිබදව දැනගැනීමට ඔබට හැකි වනු ඇති.

මේ සියල්ල හරහා වර්ථමානය වන විට දරුවන් ඉලක්ක කරගෙන කෙරෙන මත්කුඩු හා මත් පෙති ව්‍යාපාරය හා අනෙකුත් කියාවන් වලින් දරුවන් බේරා ගැනීමට ඉක්මන් පියවර ගතයුතු වෙනවා. එසේත් නැතහොත් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිතය කඩාකප්පල් වීම වැලැක් වීමට නොහැකි වනු ඇති. එම නිසා හැකි ඉක්මනින් මේ පිලිබදව බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.
මිතිලායා ගමගේ