මීගමුවේ පාරම්පරික කට්ටුදැල් රස්සාවට සිදුවන්නේ කුමක්ද?

0
374

kattudal 2kattundal 3

(12.55.pm ) රසවත්  ඉස්සන්  ව්‍යාංජනයකට   අප  කව්රුත්  කැමැත්තෙමු. නමුත්   ඉස්සන්   ඇල්ලීමේ   රස්සාව  එතරම්  පහසු  එකක්  නොවන  බව  එහි  නියැලෙන  ධීවරයින්  පවසති.  කලපු  ඉස්සා  සහ  මුහුදු  ඉස්සා   යනුවෙන්  වර්ග  දෙකක්  ඇත. මුහුදු  ඉස්සන් සඳහා ලීවලින්  කරන ලද ලොකු  රුවල්  ඔරු  භාවිතා  කරති. කලපු  ඉස්සන්  රස්සාව  සඳහා  භාවිතා   කරන්නේ ඊට  වඩා  කුඩා ලී  හෝ  ප්ලාස්ටික්  ඔරුය.  මින්  අපේ  කතාබහට  යොමු වන්නේ  කලපු  ඉස්සන්  රස්සාවෙහි  නියැලී  සිටින  කට්ටුදැල්  ධීවර  ජනතාව  ගැනය.  මෙය   එක්තරා  නීති  රාමුවකට  යටත්ව  සිදුකෙරෙන  පාරම්පරික  රස්සාවකි.  එමෙන්ම  එහි  උරුමය  ලැබෙන්නේ  පියාගෙන්  පුතාටය.  එසේ  නොවන  අවස්ථා  ඇත්තේ  සීමිත  ප්‍රමාණයකිනි.  මෙම  කට්ටුදැල්   බැඳීමට  ලැබෙන  අවස්ථා  හඳුන්වන්නේ  පෙල්ල  යනුවෙනි.   මෙවැනි  කරුණු  පිළිබඳව  තවදුරටත්  දැනගැනීමේ  වුවමනාව  මත  ඒ  ගැන  හොඳින්  දන්නා   මහවීදිය  කට්ටුදැල්  ධීවර  සමීතියේ   ජූඩ්  පෙරේරා   මහතා  හමුවීමට  මීගමුව  මුන්නක්කරය  ප්‍රදේශයට  ගියෙමු.  වයස  අවුරුදු  62ක්  පමණ වූ   ජූඩ්  මහතා  කුඩාකල  සිටම    කලපු  පරිසරයේ ගැවසී  ඇති  හෙයින්  ඒ  පිළිබඳව   හොඳ  දැනුමක්  ඇත්තෙකි.  එමෙන්ම   ඔහුගේ  කට්ටුදැල්  ඔරුවේ  නැගී  කලපු  පරිසරය  නැරඹීමටත්,  කලපුවේ  කරන  මෙම  රස්සාව  ගැන  යම්   කතාබහක  යෙදීමටත්  අවස්ථාව  ලැබින. ඔරුවේ  ගමන්කරන  අතරතුර   මේ  සම්බන්ධව  ඔහු  දොඩමළු වූයේ  මෙසේය.kattudal 1

කට්ටු  කියන  වචනයේ  අදහස දෙමල  භාෂාවෙන්   කියවෙන්නෙ   බඳිනවා  කියලයි.  කට්ටුදැල්  කියන්නෙ  බඳිනදැල්  කියන  එකයි. මේ  රස්සාව  රජ  කාලෙ  ඉඳල  පැවත  එන  එකක්.  රජුට  සේවය  කරපු   සූර්්‍ය  වංශෙ  අයට  කලපුව  මේ  රස්සාව  සඳහා  බෙදල  දුන්න  බව එහි  ඉතිහාසයට  අනුව සඳහන්  වෙනව.   ඒ  වගේම පස්සෙ  කාලෙකදි ( 1948  )පාර්ලිමේන්තු  පනතකින්  මෙහි   නීතිරීති සහ  රස්සාව   කලයුතු  ස්ථාන  පිළිබඳව  දක්වමින්     එම  ධීවරයින්ට  එහි  ඉඩ  අවසරය   දීල  තියෙනව.kattudal 4

ආම්පන්න  කට්ටලය  හදන්න  යන  වියදම  එහෙම  කොහොමද?

දැල්පීස්  10 ක්  සළකා  බැලුවොත් එක  පීස්  එකක්  5000/  ක්  විතර  වෙනවා.  එවිට  එතනම  රු.50,000/  ක් .  නමුත් අයින්තීරු, මන්ද  ,  හැදුම්  කුලිය(රු.  15000ක්  20,000/ )  ආදී  සියල්ල  සමඟ  ඔරුවේ  දැල්  වලට  පමණක්  රු.  ලක්ෂයක්  වගේ  වැයවෙනවා.  ඔරුව  අළුත් ඔරුවක්  නම්  රු.ලක්ෂ  එකහමාරක්  වැනි  වියදමක්  යනවා. පරණ  එකක්  නම්  රු. 75000/ක්     කිට්ටු  වෙන්න  යනවා.  මේ  වියදම  අද   ධීවරයාට  දරන්න  අමාරුයි.

කොහොමද  මේ  රස්සාව  කරන්නෙ?

කලපුවේ  වඩදිය  බාදිය  අනුව   ධීවරයො  තීරණය  කරනව  මේ  වෙලාවෙ  තමයි  රස්සා  කරන්න  ඕන  කියල. ඊට  පස්සෙ  කලපුවේ  තමන්ට  නියමිත  තැන්වල  කනුහිටවල   දැල්  බඳිනව.  කනු  11ක්  ඕන.  සමහර  වෙලාවට  ඇංකරයකුත්  දාන  නිසා  කනු  10ත්  ඇති.   කනු හිටවන්නෙ  මඩිය   ඉස්සරහට  එන  විදිහට.   මේ  වැඩේට  දෙන්නෙක් වත්  ඕනෙ.  සමහරු  තනියමත්   කනු හිටවීම  කරනවා.  මමත්  එහෙමයි.  මීගමු  කලපුවේ  ඇල  මාර්ග  3ක්  තියෙනවා.  කෝන්ගහ  ඇල,  තිරික්කට්ටුව  ඇල,  ඕරප්පාඩු  ඇල නම්වූ  ඇලවල්  3න්  කෝන්ගහ  ඇලට  පළමු   අංකය  දීල  තියෙන්නෙ.ඒකට  හේතුව  තමයි  මෙතන  වැඩියෙන්  ඉස්සන්  ගැවසීම.   මේ  ඇලමාර්ග  වල  තෝරගත්ත  ස්ථානවල  තමයි  දැල්  බඳින‍්නෙ.

සඳුදා   දිනය   මහවීදිය  කට්ටුදැල්  සමීතිය   රැස්වන  දිනයයි.  අපි  මීලඟට  මෙම  රැස්වීමේ   කටයුතු  පිළිබඳව  විමසීමක්  කළෙමු.  මෙදින   විශේෂයෙන්  සාකච්ඡාවට  ලක්වූයේ   රජයෙන්  ලැබුනු  ණය  මුදලක්   සාමාජිකයින්  අතර   බෙදාගැනීම  පිළිබඳවයි.  සාමාන්‍යයෙන්   මෙවැනි  රැස්වීම්  තුළ  සිදුවන්නේ   එකිනෙකාට  අදාල රස්සාව  කරන ස්ථානය  තෝරා  ගැනීම  සඳහා    අංක  ලබාගැනීමයි.  අදාල  අංකයන්  වෙන්දේසි  කිරීමක්  සිදුවෙනවා. එහිදී  කියවෙන  මුදල  අදාල  පෙල්ල  අයිතිකරු  විසින්  සමීතියට  දියයුතුයි. ඒ  සමීතියේ  දියුණුව  සඳහාය.  වැල්ලවීදිය,  මහවීදිය,  දූව,  පිටිපන  යනුවෙන්   ප්‍රධාන  ධීවර  සමීති  4කි. මේ  සමීති  4 ස්ථාන  4ක  රැස්වෙයි. ඒ  සඳහාම  වූ  ස්ථිර   රැස්වීම්  ශාලාවක්  ඇත්තේ  මහවීදිය  කට්ටුදැල්  ධීවර  සමීතියට  පමණි.  මහවීදිය  සමීතියේ  ලේකම්  ජූඩ්  මහතා වූ  අතර  සභාපති   සෙබස්තියන් ප්‍රනාන්දු   සහ  භාණ්ඩාගාරික  රොෂාන්  ප්‍රනාන්දු  යන  අයයි.  මීලඟට  අප  හා  කතාබහට  එක්  වූයේ මහවීදිය  සමීතියේ  මයිකල්  මහතාය.මෙහිදී ඔහු  මෙම  රස්සාව  ගැන   තම  අදහස  ප්‍රකාශකළේ  මෙසේය.

ඉස්සර   මේ  රස්සාව  තමයි  ප්‍රධාන  ජීවන  මාර්ගය  වුනේ. ඒකාලෙ  කලපුව පිරිසිදු,  ඉස්සන්ට  මාළුන්ට  නිදහසේ  හැදෙන්න  ඉඩක්  තියෙන  තැනක්.  ඒවුනාට  දැන්  කලපුව විනාශකරල  තියෙන්නෙ. මේ  නිසා  ටිකෙන් ටික  ඉස්සො  අඩුවෙමින්  යනවා.ඉස්සර කූඩ  ගනන්  ඇල්ලුවා.  කිලෝ  20ක  විතර  ඉස්සන්   කූඩයක්  රු. 20/ක් 25/ක්  වැනි  මුදලකට  විකිණෙනවා.  දැන් අල්ලන්නෙ  කිලෝ 2, 3, 4, ක්  වගේ සුළු  ප්‍රමාණයක්.  අද  මේ  වෙනකොට  කලපුවේ   බෝවෙන  ඉස්සන්  ප්‍රමාණය  අඩුයි. ඒනිසා  ඒකෙන්  විතරක්  ජීවත් වෙන්න අමාරුයි. වෙනත්  රස්සාවල්  කරමින්  තමයි  මේ  රස්සාව  කරන්නෙ.  නමුත්  මේ  රස්සාවම  බලාගෙන  ජීවත්වෙන  අයත්  ඉන්නවා  ඒ ගොල්ලො මේ  රැස්වීමටත්  වැඩි  කාලයක්  දෙනවා.

කලපුවෙ  ඉස්සන්  බෝවීම  අඩුවෙන්නෙ  ඇයි?

මිනිස්සුන්ගෙම  වැරදි  නිසා  කලපුව  විනාශවෙල  තියෙන්නෙ. හැම  දෙයක්ම  කලපුවට  තමයි  අතඅරින්නෙ. විශේෂයෙන්   මාළුකටු,  බොකු  වගේ  දේවල්  දානවා.  ඒනිසා  දැලක්  දාන්න  අමාරුයි .දැල්  ඒවයෙ  පැටලෙනවා.  මේ  විදිහට  එක එක  විදිහෙ  අපද්‍රව්‍ය  කලපුවට  වැටෙන කොට  ඉස්සන්  කකුළුවන්  බෝවෙන්නෙ  නෑ. ඉස්සර  කලපුවේ  තිබුනු  සාරවත්කම  දැන් නෑ.

මහවීදිය  සමීතියේ   සාමාජිකයින්   සංඛ්‍යාව  මේ  වෙද්දි  89කි.  සමීති  තුනේම සාමාජිකයින්  214ක්  පමණ සිටින  බව  ඔවුන්  පවසයි.   නමුත්  මෙම  රස්සාව  සඳහා  තිබෙන  උනන්දුවේ   අඩුවක්  තිබෙන්නේ   වර්තමානයේ   එහි  පවතින  ස්වභාවය  මතය.  කෙසේ  නමුත්  වෙනත්  ධීවර  රස්සාවන්ට  වඩා   යම්  පාලනයකින්  මෙම  රැකියාව  ක්‍රියාත්මකවීම  විශේෂත්වයකි. වැල්ලවීදිය  කට්ටුදැල්  සමීතිය  තුළ  නීති රීති  අනෙක්  සමීති  වලට  වඩා  දැඩිය.  උදාහරණයක්  ලෙස  ප්ලාස්ටික්  ඔරු  යොදාගැනීමට  ඔවුන්ගේ  සමීතියේ  ඉඩක්  නැත. ඒනිසා  කෙසේ  හෝ  ලී  ඔරු  සකසා ගතයුතුය.  නමුත්  අද  මේ  සඳහා  ලී  සොයා  ගැනීමේ  අපහසුව   ප්‍රධාන  ගැටළුවක්  වී  ඇත.  නමුත්  සියළු  හැලහැප්පීම්  මැද  කට්ටුදැල්  ධීවරයා  තවමත්  මෙකී  රස්සාවේ  රැඳී  සිටියි. ඔවුන්  ඉස්සන්  වෙළඳාමේදී   සපයන  දායකත්වය  සුළුකොට  තැකිය  නොහැක.   මෙම  රස්සාව  තුළ   සාපේක්ෂව පරිසර  හානියක්  සිදුනොවේ.    ඒනිසා  මෙම  පාරම්පරික   රස්සාව  රැකගැනීමේ   අවශ්‍යතාවයක්ද  පවතීන  අතර  එම  වගකීම  පිළිබඳව  වගකිවයුතු  ආයතන  සහ  නිලධාරීන්  මීට වඩා වැඩි   අවධානයක්  දිය යුතුය.