මීගමුවේ බස් ඩිපෝවට කුඩම්මාගේ සැළකිලි ඇයි?

0
278

NGB bus depo 2

නගරයක   ගමනාගමනය  යනු   මිනිස්  අවැසිතා  අතර විශේෂ  තැනක්  හිමිකරගන්නා  සාධකයකි.    මේ අනුව ගමන්බිමන්  යාම  සඳහා  විවිධ  ක්‍රම  උපයෝගී  කරගනී.  මෙහිදී  අතමිට  මුදල්  වැඩිපුර  ඇති  අය  තමන්ටම  කියා  පුද්ගලික  වාහනයක්  තබා ගනිමින්  තම  අවශ්‍යතා  ඉටුකර ගනිති. නමුත්  බහුතරයකට  ඇත්තේ  පොදු ප්‍රවාහන  සේවාව  උපයෝගී  කරගනිමින්  කටයුතු  කරගැනීම  වන හෙයින්  සමාජය  තුළ  එහි වැදගත්කම  කැපීපෙනෙන  තැනක්  හිමිකරගනී.    පොදු  ප්‍රවාහන  සේවය   අතරින්   බස් සේවාවට  විශේෂ  තැනක්  හිමිවේ.මේ සඳහා  බස් නැවතුම්පලක්  මෙන්ම   එකී  බස්  නඩත්තු කිරීම  උදෙසා   බස්   ඩිපෝවක්ද  අවශ්‍ය  බව  අපිදනිමු. දුවන බස්  නිතර  විවිධ  ආපදාවන්ට  ලක්වන  හෙයින්   සහ  මෙකී  බස්   පිළිවෙලකට   සේවයේ  යෙදවිය  යුතු  හෙයින්   බස්  ඩිපෝවකින්  ඉටුවියයුතු   සේවාව   ඉහල  මට්ටමක  පවතී. එනිසා  අදාල  ඩිපෝව ද  නිසිපරිදි  පවත්වා  ගැනීමේ  අවශ්‍යතාවය   පැහැරහැරිය  නොහැකි  වගකීමක්වේ.

අප  ඉහත කරුණු  ගෙනහැර  පෑවේ  අදවනවිට  මීගමුව  බස් ඩිපෝව  සම්බන්ධයෙන්  යම්  අදහසක්  බෙදාගැනීමේ  අවශ්‍යතාවයක්  තිබෙන  බැවිනි. මන්ද  මීගමු  බස් ඩිපෝ  ගොඩනැගිල්ලේ   ගරාජයට  අදාල  කොටස   ඉතා  අබලන්  තත්වයක  පවතින  අතර   එම  ගොඩනැගිල්ල  වටකරමින්  සාදා ඇති  තාප්පයද  අබලන්වී ඇත. මෙම  තත්වය  මත  හොරෙකුට   ඇතුළුවීමට  ඇති  හැකියාව   වැඩිවේ.  මේ  අනුව  ගරාජය  කොටසේ  සිදුවන්නේ   කුමක්දැයි  දැකබලා  ගැනීමට  පිටස්තර  අයටත්  හැකිවේ.   මීගමුව  වැනි  ප්‍රධාන  නගරයක ඇති   මෙවැනි  ස්ථානයක   ස්වරූපය  මෙලෙස   පැවතීම  කණගාටුවට  කරුනකි.  ගොඩනැගිල්ලේ  සමහර  ස්ථානවල  බිත්ති  පුපුරා   යාම  නිසා  කොයිමොහොතේ  ඇද වැටේද  කියා  සිතෙන  තරම්ය. වහලට  දමාඇති  තහඩු  තැනින්තැන  ගැලවී  ගොස් ඇත. මෙම  තත්වය  ලඟකදී  සිදුවුවක් නොව  වසර  ගනනාවක  සිට  දකින්නට  ලැබෙන  දසුනකි.  මේ  නිසා   මේ  පිළිබඳව  වගකිවයුත්තෝ  නිසි  පියවරක්  නොගන්නේ  ඇයිදැයි  අප  ප්‍රශ්ණ  කර  සිටිමු.