මීගමුවේ මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහිවූ තරුණ පරම්පරාව මුදවාගැනීමට සමාජ පරිවර්තනයක් අවශ්‍යයි – වෛද්‍ය හෙන්රි රොසාරියෝ

0
307

 

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික් ජන බලවේගයේ මීගමුව ආසනයෙන්  අංක 21න්  තරඟ වදින අපේක්ෂකයෙකු  ලෙස ඉදිරිපත්වී ඇති වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා මීගමුව ධීවර පවුලක සාමාජිකයෙක් ව ඉපදී ශාන්ත මරියා විද්‍යාලයේ අධ්‍යාපන ලැබූවෙකි. එමෙන්ම  පාසල් අවධියේ සිටම පාපන්දු ක්‍රීඩාවේ නියලුන ක්‍රීඩකයෙකු වන ඔහු  මීගමුවේ පාපන්දු ක්‍රීඩාවේ උන්තිය වෙනුවෙන් ක්‍රියාකාරීවෙයි. මීගමුවේ මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහිවූ තරුණ පරම්පරාව ඉන් මුදවාගැනීම  වෙනුවෙන් වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා කාලයක පටන් සමාජ  වැඩ රාශියක නිරත විය.  ශිෂ්‍ය  කන්ඩායම් ගොනුකරමින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ මීගමුව ,වැල්ලවිදිය,පිටිපන ආදී ගම්වල තරුණ තරුණයින් වෙනුවෙන් සායනික ප්‍රතිකාර මෙන්ම පර්යේෂන මෙන්ම ක්‍රියාකාරී මැදිහත්වීම් ගණනාවක් ඔහු විසින් සිදුකරන ලදී.   වෛද්‍ය හෙන්රි රොසාරියෝ 2011 සිට 2015 දක්වා  මීගමුවේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස මීගමුවේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. ඔහු මේ වනවිට ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ මිගමු ශාඛාවේ  සාමාජිකයෙකුද වේ. පසුගිය දා මීගමුව මාධ්‍ය සමජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින්  මීගමුව ආසනයෙන් පාර්ලිමේන්තු  මැතිවරණයට ඉදිරිපත්වීමේ ඇති අභිලාශයන් පිළිබඳව ඔහු දැක්වූ අදහස් පහත පළවේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මීගමුව වෙනුවෙන්  ඉදිරිපත්වීමේ අරමුණු වී තිබෙන්නේ මීගමුවේ තිබෙන විශාල ප්‍රශ්න ගොඩකට උත්තර සෙවීමේ ඇති අභිලාශයයි.උදාහරණයක් ලෙස අපේ පරිසර පද්ධතියේ ඉදලා ගත්තොත් , මීගමුව රෝහල,මීගමු නගර සභාවේ ඇති ගැටළු සහ අපේ තරුණයින්ට තිබෙන ගැටළු වලට විසඳුම් සෙවීමට මධ්‍යම රජයට බලපෑම් කිරීමට ,පාර්ලමේන්තුව හරහා කළ හැකි වැඩකොටසක් සිදුකිරීමට තමා අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

අපි ඉපදුන මීගමුවේ වෙරළ තීරය දැන් ගන්න දෙයක් නැහැ.වෙරළ පිරිසිඳු කිරීමේ යාන්ත්‍රණ අකර්මනය වෙලා ඉවරයි. මීගමු කලපුව ගත්තාම මිගමුව නගරයෙන් එන සියලු කාණු ,ඇලවල් වලින් එන අපවිත්‍ර ජලයෙන් දූෂණය වෙලා ඉවරයි. කලපුවේ බෝවෙන මත්ස්‍ය වර්ග පවා දැන් වඳවේගෙන යනවා. කඩොලාන පද්ධතියටත් විශාල හානියක් සිද්ධ වෙනවා.මේ වැරද්ද අපේ ජනතාව අතිනුත් වෙනවා ඒවා වැලැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ.හැම ග්‍රාමසේවා වසමකම ගත්තොත් ළමයි සියයකට වඩා  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඒවැනි දරුවන් ක්‍රීඩාව හරහා යහ මගට ගන්නේ කොහොමද කියන කාරණය ගැන අපි බලනවා, ඒ වෙනුවෙන් කටයතු කරනවා.

මීගමුවේ මහ රෝහල

මීගමුවේ මහ රෝහලේ බෙහෙතේ නෑ කියන එක කවුරුත් දන්න ප්‍රශ්නයක්. මීගමුව රෝහලට වැඩිහිටියෙකුට හොස්පිටල් ගිහින්  විඳින්න තියෙන වදය නිසාම ඒ රෝගියාගේ ආයුෂ බාගයක් අඩු වෙනවා. ඒ නිසා ගමේ ජනතාවට ගමෙන් හොද සෞඛ්‍ය  සේවාවක් ලබාගතහැකි ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනා.

ඕපිඩී එකේ  පැය ගානක් පෝලිමේ ඉදලා කන්නත් නැතුව ඉදලා අන්තීමෙට දොස්තර මහත්තයා ලියලා දෙන බේත් ටික ඉස්පිරිතාලේ නැතුව එලියේ පාමසියෙන් අරගෙන , ටෙස්ට් ටිකත් ඉස්සරහා ලැබ් එකෙන් කරගෙන, ගෙදර එනකොට පාන්දර  5 ට ඉස්පිරිතාලෙට ගිය කෙනා ගෙදරට එන්නේ හවස 3 ත් පහුවෙලා. ඒ වගේම තමා සායන වලට යන්න නම් පාන්දර 2කට 3 ට රෝහලට ගිහින් පෝලිමේ ඉන්න ඕනා. ඒ නිසා අපි යොජනා කරන්නේ ප්‍රදේශ බද්ධව බහු කාර්ය සායන (polyclinic) ප්‍රතිෂ්ඨාපනය කරන්න කියලා. මේ ක්‍රමය රැසියාව ඇතුළු ලෝකයේ බෙහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. එමගින් මහ රෝහල් වල ඇතිවන තදබදය මෙන්ම අකාර්්‍යක්ෂමතාවය අඩුවෙලා නගරයේ පුරවැසියන්ගේ පොදු සෞඛ්‍ය සුරැකෙන ක්‍රමවත් සෞඛ්‍ය සේවයක් ලබාදිය හැකියි.

කටුනායක ගුවන්තොටුපළේ හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් මීගමුව මහා රෝහලේ හදසි ප්‍රතිකාර ඒකකයක් නැහැ.වැඩිය ඕනා නෑ අපි ලග Exercise ECG මැෂින් එකක්වත් නෑ. ඒ වගේම මීගමුව රෝහලේ  මෝචරිය ගත්තාමත් එහෙමයි. හදිසි අනතුරක් වෙලා ගියාම දාන්න මෝචරියක්වත් නෑ. මාලු දාන කන්ටේනරයක් තමයි අපි මෝචරියක් හැටියට පාවිච්චි කරන්නේ. ඉන්සියුලේටරයක් නැතුව තිබිලා යාන්තම් ඒකත් ලබාදුන්නා. මීගමුව රෝහල කියන්නේ පහසුකම් අඩු රෝහලක්.

මීගමුව රෝලේ අඩුපාඩු රැසක් නිසා මේ රෝහල මහ රජයට පවර ගන්න කියලා ජනතාව ,විවිධ සංවිධාන, කණ්ඩායම්   එකතුවෙලා උද්ඝෝෂණය කරලා  මධ්‍යම රජයට පවරගන්න කියලා දුන්නත් මහා රජයෙන් මේකට වෙන්න ඕනා සැලකිලි වෙන්නේ නෑ. මේ නිසා මේ ප්‍රශ්නයට  මහ රජයෙන් අපි උත්තර සොයන්න අපි බැඳී සිටිනවා.

ධීවර රැකියාව

මීගමුවේ ධීවරයින්ට තිබෙන සැලකිල්ල මදි. අපි ධීවරයින්ව හරියට හඳුනගෙන නෑ. එයාලගේ අනන්‍යතාවය නිවරදි කරන්න එහෙම ක්‍රමවේදයක් මීගමුවේ නෑ.ඒවට අපි මැදිහත් වෙන්න ඕනා.

මීගමුවේ තිබෙන ප්‍රධාන හෝටල් ක්ෂේත්‍රය , සංචාරක කර්මාන්තයට අවශ්‍ය පහසුකම් හරියට සපයලා නෑ. සපයනවා කිව්වට ඒ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒම ස්ථාන පිරිසිදුව තියාගන්න අවශ්‍ය සේවාවන්  අදාළ ආයතන වලින්  සපයන්නෙත් නෑ.

අධ්‍යාපනය

අධ්‍යාපනය කියන කාරණයේදීත්, අධයාපනය තියෙන්නේ පාසල තුළ නෙමේ,ඒවා වෙනත් ආයතන වලට ගිහිල්ලා තියෙන්නේ. ඒවා ආයේ පාසල තුළට ගන්නේ කොහොමද කියන කාරණය වැදගත් වෙනවා. ඒවා අපිට හදාගන්න බැරිනම් අපි කයිවාරු කියලා වැඩක් නෑ.

මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එවැනි ප්‍රශ්න විස‍ෙඳන්නේ නෑ,එන්න එන්න වැඩි වෙනවා. අපි වෘත්තීයවේදීන් ලෙස පැත්තකට වෙලා හිටපු කාලවකවානුව තුළ අද මේ ගම්වල හිටපු සියලුම දූෂිත පුද්ගලයෝ මේ පුටුවල ඉදගෙන එයාලගේ පුද්ගලික උවමනාවන් ඉටුකරගන්න මේ තියෙන සංවර්ධන උවමනාවන් ඉටුකරනවා වෙනුවට සියලූම දේවල් පිටින් ගෙන්නලා කොමිස් ගහන ආර්ථිකයක් මේ අය මීගමුව තුළත් හදාගෙන සිටිනවා.උදාහරණයක් හැටියට තියෙන මාලු වෙනුවට පිටරටිනුත් මාලු ගේන ක්‍රමයක් අපේ මීගමුවේ තියෙන්නේ.ඉතින් මේවා නවත්තන්න ඕනා.
මීගමුවේ පුරවැසියාට මීගමුවේ අනන්‍යතාවය තියාගෙන මීගමුවේ නිශ්පාදන හැකියාව වැඩිකරලා සියයට සියයක් මේ ගේන ඒවලින් කර්මාන්තයක් දක්වා වර්ධනය කරලා ඒ ලැබෙන ලාභය මීගමුව ජනතාවට ලැබෙන විදිහේ දැක්මකුත් එක්ක ,අධ්‍යාපන දැක්මකුත් එක්ක ,සෞඛ්‍ය දැක්මක් එක්ක , පාරසරය සුරැකීමේ දැක්මක් එක්ක අපි වැඩකරන්න බලාපොරොත්තු වෙනවා.
මිගමුවේ තියෙන දෙපා ඇල හැමදාම උතුරනවා. කටුවපිටිය,අගුරුකාරමුල්ල යටවෙනවා, හැම වැස්සකටම.මේක මේ අද ඊයේ සිදුවෙන දෙයක් නෙමෙයි.අවුරුදු ගානක් තිස්සේ හැම වැස්සකටම යටවෙනවා. ප්‍රශ්නයක් හඳුනාගත්තම ඒකට විසදුම් සොයන්න එක අවුරුද්දක් ඇති. මේවට කවුරුත් ස්ථීර විසඳුම් දීලා නෑ. ඒ වෙලාවට කවුරු හරි බත් පැකට් එකක් දීලා ආයෙමත් ඒ මිනිස්සුන්ව බත් පැකට් ගන්න තමන් ලඟට ගෙන්න ක්‍රමයක් තමයි මේ මීගමුවේ සැකසිලා තියෙන්නේ. නගර සභාවල ඉටුවෙන සේවාවනුත් එහෙමයි. යාන්ත්‍රන හදන්නෑ. හදලා තියෙන්නේ මිනිස්සුන්ව තමන්ගේ කකුල ගාවට ගෙන්න ක්‍රමයක් විතරමයි. අපි ආවොත් කරන්නේ අපි හිටියත් නැතත්, යාන්ත්‍රණ  ක්‍රියාත්මක වෙන ක්‍රමයක් අපි ගොඩනඟනවා. දේශපාලකයින්ගේ මැදිහත්වීමකින් තොරව නගරවාසීන්ට සේවාවන් ලැබෙන යාන්ත්‍රනයක් සකසන විදිහේ ක්‍රම සකසන්න බලාපොරොත්තුවෙන් තමයි අපි මැතිවරණය  ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මීගමුවේ අනන්‍යතාවය සහ පුරවැසියාගේ ගරුත්වය රැකෙන  විදිහට මේ ක්‍රමය සැකසීම සහ පරිවර්ථනය කිරීම තමයි අපේ පරම අභිලාශය සහ පරමාර්ථය. ඒ වෙනුවෙන් අපි කැපවී සිටිනවා.