මීගමුවේ මැර දේශපාලනඥයින් අල්ලා බැද දමන්නැයි වයඹ ජනතාවත් එකහඩින් කියති.

0
89
fredy_01

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුව මහ නගර සභා පරිශ‍්‍රය තුළදී එල්ල වූ මැර ප‍්‍රහාරය හෙළාදකිමින් සහ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් කුරුණෑගල ඔරලෝසු කණුව අසලදී සංවිධානය කර තිබූ මහජන පෙත්සමකට අත්සන් තැබීම මීට ටික වේලාවකට පෙර අවසන් විය.

වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කුරුණෑගල සිවිල් සංවිධාන එකමුතුව සහ වයඹ ටුඩේ වෙබ් අඩවිය එක්ව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

මහජන පෙත්සමට අත්සන් තැබීම සදහා හික්ෂූන් වහන්සේ ඇතුලු ආගමික නායකයින්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයන්, කලාකරුවන් සහ ජනතා ක‍්‍රියාකාරීන් රැසක් එක්වී සිටි අතර විරෝධතාවය ක්‍රියාත්මක වූ පැය තුනක කාලය තුළ පුද්ගලයින් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ඊට අත්සන් තබා තිබිම විශේෂත්වයක් විය.

මහජන පෙත්සම අත්සන් කිරීමට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීම සදහා අත්පත‍්‍රිකා බෙදාහැරීමක්ද මෙහිදී සිදුකෙරිණි.

භික්ෂූන් වහන්සේ, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජනතාව මහජන පෙත්සමට අත්සන් තැබූ අයුරු වයඹ ටුඩේ කැමරාවේ මෙලෙස සටහන් විය. (මහජන පෙත්සම අත්සන් කිරීම පිළිබදව නවතම තොරතුරු සහිත සවිස්තර වාර්තාවක් ඉදිරි පැය කිහිපය තුළදී බලාපොරොත්තු වන්න.)