මීගමුවේ වැල්ලවීදිය සහ මුන්නක්කරය වැනි ප්‍රදේශවල ලාදුරු රෝගයේ ව්‍යාප්තියක් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි . නිල සංඛ්‍යා ලේඛන වලට වඩා මෙම ව්‍යාප්තියෙහි වර්ධනයක් ඇති බව ප්‍රකාශිතය . මීගමුව මහ රෝහලේ සමේ රෝග අංශයට අනුබද්ධව ලාදුරු පිළිබඳව අංශයක්ද ක්‍රියාත්මක වේ. එහි කාර්‍යමණ්ඩලයේ මහත්මියක් ප්‍රකාශකළේ මේගැන ඇති අඩු අවබෝධය රෝගය තවත් අයෙකුට වැලඳීමට ප්‍රධාන හේතුවක් වන බවයි . ඒ අනුව
සමෙහි ඇති වන ලා පැහැති , රතු හෝ තඹ පැහැති ලපයක් මෙහි ආරම්භය විය හැකි බවත් , එවැනි ලප මත දැනීම , ස්පර්ශය හා වේදනාව අඩුවීම , කැසීමක් නොමැති වීම යනාදිය ගැන අවධානයෙන් සිටිය යුතු බවත් ශ්‍රීලංකා ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනය විසින් දැනුම් දී ඇත .
නමුත් මෙම තත්වය ගැන නොසළකා සිටීම නිසා මෙම රෝගයේ වර්ධනයක් දැකිය හැකි බව සඳහන්වේ.
කැස්සක හෝ කිවිසුමක රැඳි බැක්ටීරියාවක් මගින් ලාදුරු රෝගය බෝවන බවත් ,
නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙය සුවකර ගතහැකි බවත් වෛද්‍ය නිගමනයයි.
මීගමුව රෝහලේ සමේ රෝග අංශය දක්වන තොරතුරු අනුව 2017-2018 යන වසර වලදී රෝගීන් 100 ට අඩු ප්‍රමාණයක් ප්‍රතිකාර ගෙන ඇත . 2019 දී 60 ට වැඩි සංඛ්‍යාවකි . නමුත් නිල වශයෙන් සඳහන් වන සංඛ්‍යාවන්ට වැඩි සංඛ්‍යාවක් රෝගීන් සිටින බවත් ප්‍රකාශිතය . ඔවුන් ගොඩ වෙදකම හෝ මේ පිළිබඳව දක්වන අඩු අවධානය මත ප්‍රතිකාර ගැනීමට මැලි කමක් දක්වන බව පෙනේ.
වැල්ලවීදිය , කුඩාපාඩුව ,මුන්නක්කරය වැනි ප්‍රදේශවල මෙම රෝගය වර්ධනයක් සිදුවන්නේ ඇයිද ? යන්න ගැන මීගමුව රෝහලේ වෛද්‍ය වරයෙකු ප්‍රකාශකළේ එය ධීවර ජනතාව ජීවත්වන ප්‍රදේශවල සංක්‍රමණික ක්‍රියාවලිය ඊට හේතුවන බවයි .
මීගමුව මුහුදු තීරයේ මාළු අඩුවන විට වැල්ලවීදිය වැනි ප්‍රදේශවල ධීවරයින් කන්දක්කුලිය, බත්තලංගුන්ඩුව, මන්නාරම පමණක් නොව දකුණු ප්‍රදේශ වලට ගොස් රස්සාව කරයි. ඒ අනුව මෙම රෝගය ඔවුන්ගේ සංක්‍රමණික ක්‍රියාවලිය නිසා ව්‍යාප්ත වන බවත් ,වැඩි රෝගීන් සංඛ්‍යාවක් එකී ප්‍රදේශවලින් වාර්තා වන්නේ ඒනිසා බවත් වසර කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකට අනුව පැහැදිළි කෙරේ. නමුත් අදවනවිට මෙය වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වෙමින් පවතී අතීතයේදී ලාදුරු රෝගය ඉතා භයානක ලෙස සළකා මෙවැනි රෝගීන් කොන්කළ නමුත් අද වනවිට මෙම රෝගය ප්‍රතිකාර තුළින් සුවකර ගතහැකි සාමාන්‍ය රෝගයක් බවට පත්වී ඇත. ඒනිසා මෙය බිය විය යුතු රෝගයක් නොවන නමුත් ප්‍රවේශම් නොවීම සහ අඩු උනන්දුව නිසා අසාධ්‍ය තත්වයට පත්විය හැකිබව වෛද්‍ය උපදේශයයි.