මීගමුව ජනතාවගේ බදු මුදලින් මන්ත්‍රිලාට රටසවාරි..??

0
39

turkeyපසුගිය ජුලි 04 වැනි බ්‍රහස්පතින්දා දින මීගමුව මහා නගර සභාවේ පැවති මාසික මහා සභා රැස්විමේදී ආන්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
එම යෝජනාවේ දැක්වුනේ මීගමුව නාගරික මන්ත්‍රිවරුන්ට තම ප්‍රදේශ දියුණු කිරිමේ කටයුතු වලට සැලසුම් සකස් කිරීමට අවශ්‍ය දැනුම ලබා දිය යුතු අතර ඒ සදහා අනෙකුත් මහා නගර සභාවල වැඩ කටයුතු පිලිබදව අවබෝධයක් ලබා දිය යුතු බවයි.
එලෙසම දියුනු වන ලෝකයේ රටවල පලාත් පලාන ආයතන තම නගර සැලසුම් කර ඇති අන්දම අධ්‍යනය කිරීම සදහා මීගමුව මහා නගර සභාවේ මන්ත්‍රිවරුන්ටද ප්‍රධාන අමාත්‍යතුමාගේ අනුමැතියට යටත්ව විදේශ අධ්‍යන චාරිකා අදියරෙන් අදියර ලබා දිය යුතු බවටද එම යෝජනාවේ වැඩි දුරටත් සදහන් විය. එම යෝජනාව සම්බන්ධයෙන් මීගමුව මහා නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් දැක්වු අදහස් වල සම්පින්ඩනයක් පහත දැක්වේ.

ආන්ඩු පක්ෂ නගරික මන්ත්‍රි සුනිල් සිල්වා මහතා
අද වන විට අපේ නගර සභාවෙන් වෙන බොහෝ සංවර්ධන කටයුතු විධිමත් ආකාරයට නොවෙයි සිදුවන්නේ. අපේ නිලධාරින්ට වාගේම අපේ නාගරික මන්ත්‍රිවරුන්ටත් යම් සැලසුමක් නියම ආකාරයට විධිමත් ලෙස කිරීමට යම් අධ්‍යනයක් අවශ්‍ය වෙනවා. ඒවාගේ පලපුරුදුකම් ඇති අයගෙන් ඒ පිලිබදව දැනවත් විය යුතුයි. ඒ සදහා අපේ රටේ ඇති කොළඹ, නුවර, ගාල්ල වැනි මහා නගර සභාවලින් ආදර්ශයන් ලබා ගැනීමට යම් වැඩපිලිවෙලක් අපි සකස් කල යුතුයි.
එලෙසම සමහර සංවර්ධන කටයුතු කිරිමේදී ලංකාවේ තුල විතරක් ඉදගෙන ඒ පිලිබදව හොද දැනුමක් සොයා ගැනීමට නොහැකියි. ඒ නිසයි මම මේ යෝජනාවෙන් ඉල්ලීමක් කලේ අපේ නාගරික මන්තී්‍රවරුන්වුවත් අදියරෙන් අදියරට වෙනත් රටවල් වලට අධ්‍යන චාරිකා යවා එම රටවල් වල පලාත් පාලන ආයතන වල ක්‍රියාත්මක වන සංවර්ධන ක්‍රියාවලීන් පිලිබදව යම් දැනුමක් පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි කියා.
මෙම කර්තව්‍ය අපේ පලාතේ මහා ඇමතිතුමාගේ පුර්ණ අනුමැතිය යටතේ සිදු විය යුතුයි. අද අපේ නගර සභාවෙන් කොතරම් නම් සංවර්ධන වැඩකටයුතු සිදු වෙනවාද. අද අපේ සභා බල ප්‍රදේශයේ පොඩි පාරවල් පවා කොන්ක්‍රිට් කරනවා. නමුත් දෙපැත්තේ කිසිම පිරවීමක් නැහැ. වාහනයක් හරි මෝටර් සයිකලයක් වාගේ ආවොත් ඒක වැටෙනවා .
ඒක පාරට ගන්න වෙනමම වෙහෙසක් දරන්න සිදු වෙනවා. ඉතින් මෙවැනි කටයුතු වලදී එම කටයුතු වඩාත් නිවැරදිව කර ගැනීමට දැනුම සහ අත්දැකීම් අවශ්‍ය වෙනවා. ආන්න ඒ නසයි මම මේ යෝජනාවෙන් ඉල්ලා සිටින්නේ අපේ සභාවේ පක්ෂ විපක්ෂ මන්තී්‍රවරුන්ටත් එලෙස අධ්‍යයන චාරිකා ලබා දෙන්න කියලා.

නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා (එ.ජා.ප.). –
මේ යෝජනාව ගෙන ආ පරමාර්ථය අනුව නම් අපිට විරුද්ධ වෙන්න බැහැ.. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේ වාගේ කාලවකාවානුවක ඒ කියන්නේ මේ ආර්ථීක ප්‍රශ්න ගනනාවක් රටේ තියෙද්දීත් ඒවාගේ ඉන්ධන වැඩි වෙලා , විදුලි බිල වැඩි වෙලා ඒ වාගේ දැවෙන ප්‍රශ්න රටේ මේ වෙද්ිදී තියෙද්දී මේ යෝජනාවේ තියෙන විදිහට රට සවාරි යැම කාලෝචිත නොවෙනවා කියලයි මම කියන්නේ.. දැනුම ලබා ගන්න මම හිතන්නේ රට යන්නම අවශ්‍යම නැහැ.. මොකද මන්ත්‍රීවරු 26 දෙනෙක් රට යවන්න කෙතරම් මුදල් ප්‍රමානයක් වැය කරන්න වෙනවාද. මේ මේ නගරයේ බදු ගෙවන ජනතාවගේ මුදල්. ඒක නිසා එය සාධාරණ නැහැ කියලයි මම කියන්නේ. දැනුම ලබා ගන්න නම් වෙනත් ක්‍රම රාශියක් තියෙනවා.
අපේ රටේ ඒ සදහා අධ්‍යන ආයතන රාශියක් තියෙනවා.
මේ නගර සභාවේම කෙතරම් සම්පත් තියෙනවාද දැනුම ලබා ගැනිමට නම්. මෙහේ තියෙනවා සම්පත් කලමනාකරන කේන්ද්‍රය කියලා එකක්. නමුත් ඒවා වලට ගිහින් අවශය දැනුම සහ ඒ කරුණ ගැන අධ්‍යනය කරන්න කිසිම කෙනෙත් යන්නේ නැහැ. ඒවාගේ අවශ්‍ය දැනුම සහ ඒ පිලිබදව අසා කියා දැන ගැනීමට මේ සභාවේ නිලධාරින් ඉන්නවා නමුත් කීයෙන් කි දෙනාද එහෙම ගිහින් අහලා ඒ පිලිබදව සොයා බලා ඒ දැනුම ලබා ගන්නේ. මේ නගර සභාව යටතේ තියෙන කොම්පොස්ට් පොහොර හදන ස්ථානයට ගිහින් ඒ පිලිබදව සොයාලා නොබලපු මන්ත්‍රිවරු කී දෙනෙක් මේ සභාවේ ඉන්නවාද .
පිරිසක්ම පිටරට ඒ දැනුම ලබා ගන්නාවාට වඩා පිටරට සිට ඒ දැනුම අත්දැකීම් ඇති අයෙකුව මෙහාට ගෙන්වාගෙන ඒ දැනුම ලබා ගත හැකියි.
එහෙම වුනාම වැය වෙන අධික වියදමත් අඩු කර ගත හැකියි. ඒක නිසා මම කියන්නේ දැනුම ලබා ගැනීමට අධික මුදලක් වියදම් නොකර ඒ දැනුම ලබා ගැනීම සැබෑම පරමාර්ථය නම් ඒ දැනුම ලබා ගැනීම අපි පළමුවෙන්ම අපිට තියෙන සම්පත් උපයෝගී කරගෙන  මීගමුවෙන් පටන් ගමු.

නාගරික මන්ත්‍රි මොහොමඩ් ඊෂාන් මහතා (මු.කො.) – 
මම හිතන්නේ අපේ ලංකාවේ දියුණු නගර සභාවල අයව ගෙනැල්ලා එහෙම නැත්නම් ඒ නගර සභාවල් වලට ගිහිල්ලා සම්මන්ත්‍රණ පවත්වලා දැනුම ලබා ගැනිමම මේ ප්‍රදේශයේ දියුනුවට ඉවහල් වෙන්නේ නැහැ.. මොකද එක එක ප්‍රදේශවල තියෙන ප්‍රශ්ණ වෙනස් . ඒ නිසා අපි බලන්න ඕනේ ඒ ඒ ප්‍රදේශ වල එයාලාගේ ප්‍රශ්ණ විසදන ආකාරයෙන් අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්ණ වලටත් විසදුම් සොයා ගත හැකිද කියා. ඒ නිසා ඒ පරිසරයන්ට අපි හැඩගැසෙන්න උවමනායි. අපි දන්න විදිහට අපේ මීගමුව මුහුදු මට්ටමට වඩා පොඩ්ඩයි උස. ඉතින් මේ තත්වය හරියට තේරුම් අරගෙන අපිට හරියන කානු පද්ධතියක් වත් තවම අපිට හදා ගන්න බැරිවුනා. ඒක නිසා මේ දැනුම ලබා ගන්න කලින් අපි අපිට තියෙන ප්‍රශ්න හදුනා ගත යුතුයි. ඒ සදහා අවශ්‍ය වන දැනුම මෙරට හෝ පිරරටකින් ලබා ගැනීම ඇත්තෙන්ම හොදයි.

නාගරික මන්තී්‍ර ගිහාන් ප්‍රනාන්දු මහතා (එ.ජා.ප.) –
පිට රට ගිහිල්ලා දැනුම ලබා ගැනීම කෙසේ වෙතත්   මෙය හුදෙක්ම සවාරියක් පමනයි කියලයි මට හිතෙන්නේ. මොකද අපි මේ රටවල් වලට ගිහිල්ලා ඒ අදැනුම ඒහේ තියෙන ක්‍රම දැකලා මෙහේ ආවාට ඒවා මෙහේ ක්‍රියාත්මක කරන්න බැහැ. අපිත් දැකලා තියෙනවා විවිධ රටවල් වලට ගිය අවස්ථාවලදී ඒ රටවල් වල පාරවල් වල ඉන්න බල්ලෝ පවා පාර මාරුවෙද්දීත් උන්ගේත් තියෙනවා නීතිගරුකකම ඉවසීම විනයවාගේ දේවල්. එහේ සෑම දෙයක්ම නීති රිති අනුව තමයි සිදු වෙන්නේ. ඒ මොකද ඒ ජනතාවගේ තියෙනවා පුදුමාකාර විනයක්. . ඒ නිසයි ඒ රටවල් විනායුනුකූල. ඒනිසා මම කියන්නේ ජනතාවගේ බදු මුදල් වැය නොකර නාගරික මන්තී්‍රවරුන්ට මෙම අත්දැකීම්, දැනුම ලබා ගත හැකි නම් එය වඩාත් හොදයි.

 නාගරික මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු මහතා (එ.ජා.ප.) –
මේ යෝජනාවේ පළමු කොටස ඒ කියන්නේ මෙරට මහා නගර සභා වලින් දැනුම ලබා ගැනීම ඇත්තෙන්ම හොද දෙයක්. ඒකට අපි එකගයි. නමුත් දෙවැනි කොටසට නම් ඒ කියන්නේ පිටරටවලට  ගිහින් දැනුම ලබා ගත යුතුයි කියන යෝජනාවට නම් අපිට එකග වෙන්න බැහැ. මොකද අපි මේ සභාව තුල අපි මේ යෝජනාව සම්මත කර ගත්තට කිසිම ඵලක් වෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ.