spot_img
spot_img
Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories මීගමුව ඩීන් හංදියේ අමීර් ගේ සුප් කඩේ

මීගමුව ඩීන් හංදියේ අමීර් ගේ සුප් කඩේ

0
308
මේ තැන තියෙන්නේ මීගමුව මීරිගම පාරේ, ඩීන් හන්දියේ, ලාසරස් පාර එහෙම නැත්නම් මිගමුව ඩිපෝ පාර ආරම්භ වෙනවාත් සමඟයි. ඩීන් හන්දියේ සුප් කඩේ කිව්වහම මේ තැන නොදන්න කෙනෙක් නෑ. ඩීන් හන්දියේ අමීර්ගේ සුප් කඩේ කිව්වහම මෙතැන කවුරුත් හොඳටම දන්නවා.

දැන් මේ කඩේ අයිතිකාරයා තමයි අමීර් අහමඩ්. අමිර් දැන් මේ කඩේ අයිතිකාරයා වුණාට මේ කඩේ පටන් ගත්තේ අමීර්ගේ පියා. ඒ කියන්නේ මිස්තාර් අහමඩ්. ඔහු මේ වෙද්දි මිය ගිහින්. මිස්තාර් මුදලාලි ඒ කියන්නේ අමිර්ගේ පියා මේ කඩේ පටන් ගත්තේ 1991 වසරේ, පොඩි හෝටලයක් විදිහට.

මිස්තාර් මුදලාලි මේ කඩේ පටන් ගන්න කලින් යාපනේ ඉඳලා තමයි මීගමුට ඇවිත් තියෙන්නේ. ඔහුගේ ගම මීගමුව. නමුත් ව්‍යාපාර කටයුතු කරන්න එහෙම නැත්නම් හෝටලයක් කරන්න ,ඔහු යාපනයට ගිහින් තියෙනවා. මිස්තාර් මුදලාලිගේ වැඩිමහල් සහෝදරියක් විවාහ වෙලා හිටියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ෂෙෆ් කෙනෙක් එක්ක. ඒ පරපුරම කෑම බීම හදන්න සුපිරි දක්ෂයෝ. අර කතාවකුත් තියෙනවානේ .ඉන්දියාවේ රසම රස කෑම තියෙන්නේ කේරළ ප්‍රාන්තයේ කියලා. ඒක නිසා ද දන්නෙ නෑ මිස්තාර් මුදලාලිටත් රසට කෑම උයන්න සුවිශේෂී හැකියාවක් තිබුණාලු. මිස්තාර් මුදලාලිගේ පුතා අමීර් කියන විදිහට එයාගේ පියා මිස්තාර් මුදලාලි පරාටා රොටි හදන්නත් හොඳ දක්ෂයෙක්ලු. ඉතින් අර කලින් කිව්ව වගේ අර කේරලේ මස්සිනයි, එයාලගේ තව කට්ටියකුයි මිස්තාර් මුදලාලියි එකතුවෙලා යාපනය ටවුන් එකේ කරගෙන ගිය ජනතා හෝටලය නිතරම කෑම කන්න එන අයගෙන් පිරිලා ඉතිරිලා ගිය යාපනය නගරයේ තිබුන ජනප්‍රිය හෝටලයක් බවට පත්වෙලා තියෙනවා.

විවාහයෙන් පසු මිිස්තාර් මුදලාලි ජනතා හෝටලෙන් ඉවත් වෙලා තමන් පදිංචි වෙලා හිටපු යාපනයේ යොන් වීදියේ, තම නිවස ඉදිරිපිට පරාටා රොටී කඩයක් කරන්න පටන් ගත්තා.ඔහොම කරගෙන ඉන්න අතරතුරේ 1990 දි එල්ටීටීඊ සංවිධානයෙන් යාපනයේ සිටි මුස්ලිම් ජාතිකයන්ට පදිංචි ස්ථානවලින් ඉවත්වෙන ලෙස දන්වා සිටි අවස්ථාවේ මිස්තාර් මුදලාලි ඔහුගේ බිරිඳ ඇතුළු ඔහුට සිටි දරුවන් දහ දෙනාද සමඟින් යාපනයෙන් පිටවෙලා ඇවිල්ලා තියෙනවා.එහෙම ආපු මිස්තාර් මුදලාලි කෙලින්ම ගියේ තමාගේ බිරිඳගේ ගමට. ඒ කියන්නේ මාවනැල්ලට. එහි සිට තමයි ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් මීගමුවේ ඩීන් හන්දියට ඇවිල්ලා තියෙන්නේ. කුඩා කඩ කාමරයක් කුලියට අරගෙන පරාටා රොටී ඇතුළු විශේෂයෙන්ම උදේ කෑම තියෙන කුඩා හෝටලයක් විදිහට තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඒ එක්කම වගේ එතැන බීෆ් සුප් එක ( Beep soup ) තමයි පළමු වතාවට හඳුන්වා දීලා තියෙන්නේ.. ඔන්න ඔය විදිහට තමයි ඩීන් හන්දියේ සුප් කඩේ කියලා මෙතනට නම වැටිලා මේක කා අතරත් ජනප්‍රිය වෙලා තියෙන්නේ.

අර අපි කලින් කිව්වා වගේ මිස්තාර් මුුදලාලිට දරුවො දහදෙනෙක් හිටියා. අමීර් කියන්නේ පවුලේ 03 දරුවා.අමීර්ටත් ඉගෙනීමේ වැඩ කටයුතු වලට දක්ෂතාවයන් තිබුණත් ඔහු වඩාත් ඇලුම් කළේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙන්න. සමහර වෙලාවට මිස්තාර් මුදලාලිත් අමීර්ව ව්‍යාපාර කටයුතුවලට වෙන දරුවන් සම්බන්ධ කර ගන්නවට වඩා අමිර්ව සම්බන්ධ කරගන්න හේතුවක් වෙන්න ඇත්තෙත් ඔය කාරණාව වෙන්න පුළුවන්. කොහොම උනත් මිස්තාර් මුදලාලිගේ මියයෑමෙන් පස්සේ මේ කඩේ භාර වෙන්නේ අමීර්ටයි එයාගේ මල්ලිටයි.

ඔය අතරතුරේදී මාසික කුලි පදනම මත ආරම්භ කරපු මේ කඩේ මිස්තාර් මුදලාලි මිය යන්න කලින් මේ කඩය එයාලටම මිලදී ගන්න හැකි වෙනවා.
ඊට පස්සේ මේක නැවත වරක් අමීර් සහ එයාගේ මල්ලි අමීන් එකතුව කරගෙන යනවා. මේක කොටස් දෙකකට බෙදා ගන්නවා. ඒ කියන්නේ උදේ කෑම අමීර්ගේ මල්ලි අමීන්ට පැවරෙනවා. සවස සුප් වැඩේ අමීර් කරනවා. ඩීන් හන්දි සුප් කඩේ කරගෙන ගියේ.

ටික කාලයක් ගත වෙද්දි අමීන් එයාගේ උදේ කෑම වැඩේ මේ සුප් කඩේට සුප්කඩයට එහා පැත්තේ තියෙනවා වෙනමම කඩයකට රැගෙන යනවා. පසුව අමීර් මේ ස්ථානයේ රැඳෙමින් සුප් කඩේ තවත් දියුණුවට පත් කරනවා. එහිදි , කුකුල් මස් වලින් හදන චිකන් සුප් වගේම එළවළු සාරය පමනක් මුසුකොට හදන වෙජිටබල් සුප් එහෙම අමීර් මේ ස්ථානයේ පටන් ගන්නවා. සවසට පමණක් සීමා වුනු අමීර්ගේ සුප් කඩේ දැන් අමීර් දවල්ටත් විවෘත කරන්න තීරණය කෙරුවා.

ඒ මීගමු රෝහලේ නර්ස් කෙනෙකුගේ ඉල්ලීම මත. එ් නර්ස් අමීර්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සමහර රෝගීන්ට බෙහෙත් අධිකව පානය කරපුවහම හරිහැටි කන්න බොන්න බැරි තත්ත්වයකට පත්වෙනවා., ඒත් එක්කම රෝගීව ඉඳලා සුවය ලබන රෝගීන්ටත් ශරීර ශක්තිය අවශ්‍ය නිසා අමීර් හදන සුප් එකක් වගේ පාලනය කෙරුවොත් මේ අවශ්‍යතාවයන් සපුර ගන්න පුළුවන් කියලා ,මේ නර්ස් අමිර්ගෙන් ඉල්ලලා තියෙනවා දවල්ටත් සුප් කඩේ විවෘත කරන්න කියලා.

අන්න ඒ ඉල්ලීම ඉටුකරන්න තමයි, ඒ කියන්නේ රෝහලේන රෝගීන් ගැන හිතලා තමයි අමීර් සවස සිට රාත්‍රී දක්වා විවෘත කරපු මේ ඩීන් හන්දියේ සුප් කඩේ දවල් කාලයේ සිට රාත්‍රී දක්වා විවෘත වුණේ.

අද අමීර් ගාවට වැඩිපුරම එන්නේ සිංහල අය වීමද විශේෂත්වයක්. ඒ එන සිංහල අය වැඩිපුරම අමිර්ගෙන් ඉල්ලන්නේ බීප්සුප්. ඒ එන බොහෝ අය දවල්ට බත් සමඟ ව්‍යාංජන එක්ක බර ආහාර ගන්න කැමති නැති අය කියලයි අමීර් කියන්නේ. අමීර් කියන්නේ බර වැඩ කරන, විශේෂයෙන්ම පෙදෙරේරු රැකියාවේ නිරත අය සමීර් ගාවට ඇවිල්ලා බීෆ් සුප් රෝස් පාන් කන්න තමයිලු වැඩිපුරම කැමති. ඒකෙන් එයාලගේ කුසගින්නත් නිවෙනවා, ඒත් එක්කම වෙහෙසිලා බර වැඩ කරන්න ශරීරයට හොඳ ශක්තියකුත් ලැබෙනවා. යි දවල්ට බත් වගේ බර ආහාර ගත්තහම දැනෙන නිදිමත ගතියද රෝස් පාන් එක්ක සුප් එකක් බීපුවහම දැන්නේම නෑ කියලයි අමිර් පවසන්නේ.

වෙනත් එක එක ජාතියේ සුප් විකුණන තැන් කොපමණ තිබුනත් අමීර්ගේ කඩේ තියෙන සුප් ඉතාම ප්‍රණීත රසයකින් යුක්තයි. ඒ ගැන අමීර් කියන්නේ වෙනමම කතාවක්.
‘අපි ලඟට එන ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ අපි හදන බීෆ් සුප් එක. සාමාන්‍යයෙන් අපි බීෆ් සුප් හදන්න ගන්නේ හරක් කකුල් විතරයි. හරක් කකුලෙත් දණිස්ස හරියේ සහ කකුලේ පහත හරිය විතරයි අපි සුප් හදන්න ගන්නේ. මොකද ඔය තැන් දෙකේ තමයි මැරබෝන්ස් හොඳට තියෙන්නේ. අනිත් තැන් වලත් මැරබෝන්ස් තියෙනවා, වෙනත් තැන් වලින් කටු දැම්මොත් සුප් එක සමහර වෙලාවට කළුපාටට වගේ තද පාටක් වෙන්න පුළුවන්. සුප් එකක් බොන්න රස වගේම සුප් එකේ පාටත් වැදගත් වෙනවා. ඔන්න ඔය නිසා තමයි අපි හරක් කටු ගද්දි දණිස්ස සහ කකුලේ පහත හරියෙන් විතරක් ඒකට කටු ගන්නේ.”

එහෙම ගන්න හරක් කටු ප්‍රෙෂර් කුකර් එකක දාලා ස්ටීමි එකෙන් හොඳට තම්බගෙන තමයි, අපි ඒක සුප් එකට එකතු කරන්නේ. ඒ වගේම අපි හොඳට තෝරලා බලලා ගන්න එළවළු වර්ග කිහිපයකුත් ඒකට එකතු කරනවා. සුප් වලට භාවිතා කරන ගම්මිරිස් ඇතුළු වෙනස් කුළුබඩු වර්ගද හොඳට බලලා කරලා තෝරලා ගන්න ඒවා තමයි සුප් එකට දාන්නේ. චිකන් වුනත් හොඳ චිකන් තමයි අපි චිකන් සුප් වලට දාන්න ගන්නේ. මෙන්න මේ නිසා තමයි අපේ සුප් වෙනත් තැන්වල සුප් වලට වඩා රසයෙන් වැඩි වෙන්න හේතුව. අපේ සුප් හදන විදිහ අපේ තාත්තා ඉන්න කාලේ ඉඳලාම භාවිතා කරපු විදිහම තමයි. අපි කවදාවත් අපේ සුප් වල රසය වෙනස් කරන්න යන්නේ නැහැ. රසය වගේම පිරිසිදු බව, ඒවගේම සෞඛ්‍යාරක්ෂිත බව අපේ සුප් වල තියනවා . ඒක නිසා තමයි අපි හදන සුප් බොන්න අපේ සුප් කඩයට වැඩි දෙනෙක් එන්නේ.”

ඉරිදා සහ පෝය දවස් වල ඇරෙන්නට අනිත් හැම දවසකම දවල් 12.30 වගේ ඉඳලා රාත්‍රී 9.00 පමණ වන තෙක් මේ සුප් කඩේ විවෘතව තියෙනවා. දවල් මේක විවෘත කරන වෙලාව සමහර වෙලාවට සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන්ලු.මොකද මේක විවෘත කරන්නට එන්නේ, දේවස්ථානයේ තියෙන සෑම දවසකම දහවල් යාඥා මෙහෙයට පසුව නිසා.

විශේෂ ඇනවුමක් එහෙම නැත්නම් ඕඩර් එකක් වගේ තිබුණොත් ඉරිදා දිනවලත් පැය කිහිපයකට හරි සුප් කඩේ විවෘත කරනවා කියලා කියනවා. මේ සටහන අවසන් කරන්නට කලින් අමීර් අපිට කිව්වේ එයාගේ පියා ඒ කියන්නේ මිස්තාර් මුදලාලි ආරම්භ කරපු මේ සුප් කඩේ එයාගේ පියා වගේමපියාගේ නමට කැලලක් නොවෙන විදිහට කාටත් විශ්වාසවන්ත සහ අවංකව කරගෙන යන්න තමයිලු එයාගේ බලාපොරොත්තුවව. විශේෂයෙන්ම අපි ගැන විශ්වාසයෙන් යුතුව මේ සුප් කඩේට එන අයට පිරිසුදුව , සෞඛ්‍යාරක්ෂිතව, සහ පෝෂ්‍ය ගුණයෙන් යුතු ශරීරයට සවි බල ගෙන දෙන රසවත් සුප් එකක් ලබාදීම තමයිලු අමීර්ගේත් පරමාර්ථය වෙන්නේ.

ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා, වෙනසකටත් එක්ක මීගමුව- මීරිගම පාරේ , ඩීන් හන්දියේ පිහිටි අමීර්ගේ සුප් කඩේට දවසකට ගිහින් බලන්න කියල..