මීගමුව නගරයේ භූමිතෙල් පෝලිමට එකතු වුනෙමි……

0
490

ඊයේ ( 30 ) දළුපත ඉන්ධන පිරවුම් හලේ දිගු භූමිතෙල් පෝලිමේ සිට කාලය ගතකළ නමුත් මා ඇතුළු පෝලිමේ සියළු දෙනාටම පැය ගනනාවක් හිටගෙන සිට තෙල් නොලැබ හිස් අතින් යාමට සිදුවිය.
නමුත් භූමිතෙල් සොයා යාමේ අදහස අත්හල නොහැක .

එම අත්දැකීමෙන් පසු නැවත නගරයේ ඇති භූමිතෙල් පමණක් බෙදා හරින ස්ථානයේ පෝලිමට අද( 31 ) එකතුවීමේ ( අ ) වාසනාව ලද්දෙමි . ඒ හදිසියෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුවය. සියළු කටයුතු පසෙක ලා ඉක්මනින් ගොස් මා පෝලිමට එක් වූයෙමි. කාලය කොපමණ ගතවුවද අද කෙසේ හෝ භූමිතෙල් රැගෙන නිවසට යන්නෙමි යන අදිටනින් එසේ පෝලිමට එකතුවී එහි පවතින කතා බහටද සවන් දුනිමි. මමද අවස්ථාව එලඹෙන තුරු ආණ්ඩුව තේමාව කරගෙන සිදුවූ මෙම කතාබහට සවන් දීගෙන සිටියෙමි. විදුලිය කැපීම ,බඩුමිල ආදිය ගැන සමහරු කතාබහ කරනු පෙනින.

පෝලිම තුළ ⁣කුමන දෑ සිදුවුවද කොයි මොහොතේ “තෙල් නැත” කියා ඇසේදෝහෝයි යන අවිනිශ්චිත බව සෑම මුහුණකම දක්නට තිබිණ . ඒනිසා ඔවුන් සියළු දෙනා වරින් වර පෝලිමේ කෙළවර දෙසට අවධානය යොමු කරනු පෙනින. මෙම ස්ථානයේ ඇති ගේට්ටුවෙන් පුද්ගලයින් 10 ක් ඇතුලට ගන්නා අතර එම 10 දෙනාට තෙල් ලබාදීමෙන් පසු නැවත 10 දෙනෙක් ඇතුලට ගනී. නමුත් මෙහි ලබාදෙන්නේ ලීටර් 3 කි. පොලිස් නිලදරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී ලීටර් 3 කට වැඩි ප්‍රමාණයක් කෑන්වලට පුරවා ගන්නා ආකාරය දැකිය හැකි විය.

ඊයේ ( 30 ) දළුපත ඉන්ධන පිරවුම් හලේ තෙල් ලීටර් 5 ක් දෙනලදී. නමුත් අද (31) මෙහි ලබාදෙන්නේ එක් අයෙකුට ලීටර් 3 කි. මේ ⁣වනවිට ඕනෑම ව්‍යාපාරිකයෙකුට ඕනෑම තීරණයක් ගතහැකි බව අපට දැනෙන යථාර්ථයයි. කෙසේ හෝ ලීටර් 3 ක තෙල් රැගත් පසු මා හට දැනුනේ යමෙකුට යම් වීරක්‍රියාවක් කළ පසුව ඇතිවන හැඟීමට සමාන හැඟීමකි.

ජීවිතය පවත්වා ගැනීම උදෙසා අසරණ වූ මිනිස්සු ඕනෑම කැපකිරීමක් කරන බව පැහැදිළිය. ගෑස් නැතිවිට දර ළිපද , ඉන් අනතුරුව භූමිතෙල් ළිපද භාවිතා කර තමන්ගේ ආහාර වේල සකසා ගැනීමට ඔවුන් වෙහෙසෙති.
දැන් වැඩිදෙනෙකු භූමිතෙල් පෝලිමට පැමිණ කාලය ගත කරන්නේ එබැවිනි.


තත්ත්වයන් පෙළගැසෙන ආකාරය අනුව මිනිස් අසරණ කම තවත් මිනිහෙකුට මිලට ගෙන ලාභ ලැබීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර ඇත . ඊයේ දළුපත ඉන්ධන පිරවුම් හලේ භූමිතෙල් ලීටරය රු.100/ කි. අද (30) මීගමුව නගරයේ ලීටරය රු.90 කි. මා රු. 300/ ක් දුන් විට ඉතිරිය ලෙස මාහට ලැබුණේ රු. 20/ කි. රු. 10/ ක් නැත . රු. 10/ ඒවා කීයක් මෙසේ සඟවා ගනු ඇත්දැයි මා නොදනිමි . තත්ත්වය එසේය.
ඉදිරියේ සිදුවන්නේ කුමක්ද යන්න කිසිවෙකුට කිව නොහැක .
අපි සිදුවන්නේ කුමක්ද ? යන්න ප්‍රශ්ණාර්ථය සහිතව හෙට දවස ගැන බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටිමු.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here