මීගමුව, බීච් පාර්ක් එක තවමත් පඹගාලක.

0
116

 

මීගමුව වෙරළ උද්‍යානය හෙවත් බීච් පාර්ක් එකේ අවුල තවමත් විසඳී නොමැත. පසුගිය මාර්තු මාසයට අදාළව පැවති ,මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී නාගරික කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ බීච් පාර්ක් හී භූමියේ අයිතිය නිරවුල් වනතුරු එහි ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මීගමුව මහා නගර සභා සේවකයන් යොදවන බවයි. එහෙත් එම සංවර්ධන කමිටු රැස්වීම පවත්වා මාසයක් පමණ ඉක්ම ගොස් ඇතත් ,බීච් පාර්ක් හී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම තවමත් සිදුවන්නේ ලන්සලා විසින් අටවාගත් පෞද්ගලික කොම්පැනිය විසිනි.

පසුගිය මාසයේ පැවැති සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය වූයේ මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය හෙවත් UD එක මගින් බීච් පාර්ක් හී ප්‍රවේශ පත් නිකුත් කිරීම ඇතුළු කාර්යයන් පෞද්ගලික කොම්පැනියකට ගිවිසුම්ගතව පවරා ඇති බවකි. ඒ අනුව එහි භුක්තිය නගර සභාවට නිත්‍යානුකූලව පවරා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇති බව ද එම කමිටරැස්වීමේදී අනාවරණය විය. එහෙත් ඒ කිසිදු කටයුත්තක් සිදුවී නොමැති බව නම් දැන් ඉතා පැහැදිලිය.
මීගමුව, ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරන්නේ බීච් පාර්ක් හී භූමියේ අයිතිය නගර සභාවට පැවරීමට නම් ඒ සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් කාර්යාලයේ සහ ඉඩම් අමාත්‍යංශයේ නිත්‍යානුකූලව අවසරය ලැබිය යුතු බවයි. එය මෙතෙක් ලැබී නොමැති බවද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරයි.

එලෙසම පසුගිය මාර්තු 18 වැනිදා නාගරික සංවර්ධන අධිකාරීය හෙවත් UD එක , අදාළ පෞද්ගලික කොම්පැනිය සමග සාකච්ඡාවක් පවත්වා මීගමුව බිච් පාර්ක් හී කටයුතු නගර සභාවට පැවරීම සිදුවන බව ප්‍රකාශ කලද තවමත් එය සිදුවී නොමැත.
ඒ අනුව පෙනෙන්නට තිබෙන්නේ මීගමුව බීච් පාර්ක් හී ගැටලුව විසඳීම වෙනුවට එම ගැටලුව තව තවත් පඹ ගාලක පැටලී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here