මීගමුව රෝහලේ , රෝගී සත්කාර සේවාව වෙනුවෙන්,, මීගමු රෝහල් සංවර්ධන පදනම සමඟ එක්ව ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනා හට උපහාර පිදීමේ විශේෂ උත්සවයක් පසුගිය 28 වනදා සවස මීගමුව, ” ග්‍රෑන්ඩ් මාක්ස් ” හෝටලයේදී පැවැත්විණි.
මීගමුව, රෝහල් සංවර්ධන පදනම පිහිටුවා වසර 14 ක් සපිරෙන මේ මොහොතේ විශේෂයෙන්ම මීගමු රෝහලට විශාල අඩුපාඩුවක්ව පැවති සහ රෝහල් සංවර්ධන පදනම් විසින් දියත් කළ හදවත් රෝග ඒකකය ස්ථාපිත කිරීම සඳහා කාලය, ධනය සහ ශ්‍රමය වැය කළ සියලු දෙනා හට උපහාර පිරිනැමීම මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන අරමුණ වී තිබිණි.
මෙම උපහාර උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූයේ මීගමු රෝහල් සංවර්ධන පදනමේ ආරම්භක සභාපතිවරයා වූ සහ වර්තමානයේ එහි අනුශාසකවරයෙක් වශයෙන් කටයුතු කරන දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය එම්.එච්. සී. ජේ. ඉයන් මහතා සහ මීගමු රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මියයි.
එලෙසම මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන, මීගමුව නගරික කොමසාරිස් නුවණී සුභසිංහ, මීගමුව බන්ධනාගාර අධිකාරී ජීවක ප්‍රනාන්දු සහ මීගමුව, පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේ අධිකාරි, සමන්ත ලියනගේ යන මහත්ම මහත්මාවීන් ද මෙම විශේෂ උත්සවය සඳහා ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.
මීගමුව, විජයපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී සුගුණ ධම්ම ස්වාමින් වහන්සේ, කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ගරු මීසම් පාලක මංජුල ප්‍රනාන්දු පියතුමා, මීගමු රෝහල් දේවස්ථානය භාරව කටයුතු කරන නෙරන්ජන් පියතුමා සහ පෙරියමුල්ල මුස්ලිම් දේවස්ථානයේ මවුලවි තුමන් විසින් මෙම උත්සවය ආරම්භයට පෙර සර්ව ආගමික වතාවත් සිදු කළහ. ඉන් පසුව මීගමු රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාදු මහතා විසින් මෙම උත්සවය සඳහා සහභාගී වූ පිරිස පිළිගනිමින් කතා කළහ.
මෙහිදී මීගමු රෝහල් සංවර්ධන පදනමට සම්බන්ධ ව කටයුතු කළ සාමාජික සාමාජිකාවන් ට මෙන්ම මීගමු රෝහල් සංවර්ධන පදනම විසින් මීගමු රෝහල තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් වෙනුවෙන් ධනය වැය කළ ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන්ට ද මෙහිදී උපහාර පිරිනමන ලදී..
මෙම උත්සවයේ ප්‍රථම උපහාරය ත්‍රීත්වය පිරිනමනු ලැබුවේ රෝහල් සංවර්ධන පදනමේ ආරම්භක සභාපතිවරයාව සිටි දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය එම්.එච්. සී. ජේ. ඉයන් මහතාටත් එමෙන්ම එහි වර්තමාන සභාපති හා එහි ලේකම් වන ක්‍රිෂාන්ත දල්පදාදු මහතාට සහ මාර්කස් කාරියකරවන මහතාටයි.
එලෙසම මීට වසර 05 කට පමණ පෙර මීගමු රෝහලේ මෙම විශේෂිත හෘද රෝගී ඒකකය ස්ථාපිත කරන්නට දැඩි වෙහෙස මහන්සියක් දැරූ එවකට මීගමු රෝහලේ සේවයේ නියුතුව සිටි හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මියට මෙහිදී විශේෂ උපහාරයක් පිරිනමනු ලැබීය.
එමෙන්ම මෙම හෘද රෝගී ඒකකය වෙනුවෙන් ඇඳන් සැපයීමට ඉදිරිපත් වූ මීගමුව පොලිස් කොට්ඨාශයටද විශේෂ උපහාරයක් පිරිනමනු ලැබීය.එම විශේෂ උපහාරය පිළිගන්නා ලද්දේ වර්තමාන මීගමුව කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා විසිනි.
මේ අනුව මෙම උපහාර උත්සවයේදී මීගමුව සහ මීගමුව අවට ප්‍රදේශවල ව්‍යාපාරික ආයතන වලට මෙන්ම ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුටද එමෙන්ම විවිධ වෘත්තිකයන් සහ සමාජ ක්‍රියාකාරීන් රැසකටද මෙලෙස උපහාර පිරිනමනු ලැබීය.
මෙම උත්සවයේදී මීගමු රෝහලේ වර්තමාන රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය සහ මීගමු කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා විසින් රැස්ව සිටි පිරිස ආමතා කෙටි දෙසුම් පැවැත්වූහ.
මෙම උත්සවයේදී 83කට අධික පිරිසකට උපහාර ලෙස සමරු තිළින ප්‍රධානය කරන ලදී.
එලෙසම මීගමු රෝහල් සංවර්ධන පදනමේ සභාපති ක්‍රිෂාන්ත දල්පදාදු, උප සභාපති ජීවක පෙරේරා, ලේකම් මාර්කස් කාරියකරවන සහ භාණ්ඩාගාරික හුසේන් ෆාරුක් යන මහත්වරුන්ගේ සංවිධාන ශක්තිය තුළ මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම උත්සවය සඳහා මීගමු රෝහලේ හිටපු වෛද්‍යවරුන් , සහ තවත් ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබිණි.