මීගමුව රෝහල අසල රථගාල් අර්බුදය දැන් විජේපාල මෙන්ඩිස් මාවතට ?

0
218

IMG-20191227-WA0004

මීගමු මහ රෝහලට පැමිණෙන යතුරුපැදි ඇතුළු අනෙකුත් වාහන නතර කිරීමට අදාලව නිශ්චිත රථගාලක් නොමැති හෙයින් මාරිස්ටෙලා විදුහල සහ රෝහල අතර ඇති පාර ඒ සඳහා යොදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත . මෙම ස්ථානයේ ඇතිවූ යතුරුපැදි සොරකම් ආදිය ගැන නොසිතා මෙසේ වාහන නතර කරනු ලබන්නේ වෙනත් විකල්පයක් නැති නිසා බව සමහරු පවසති . මීගමු පොලීසියේ රථවාහන අංශය විවිධ උත්සාහයන් ගත් නමුත් මෙය නතර කිරීමට නොහැකි විය . තවමත් එහි එල්ලා ඇති කටවුට් ,දැන්වීම් පුවරු අාදිය දැකගතහැක . පුද්ගලිකව පවත්වාගෙන යන රථගාල් තිබෙන නමුත් ඒවායේ තම වාහන නතර නොකරන ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ අයකරන ගාස්තුවයි. එය රු.30/ක් වැනි මුදලක් වුවද දෙතුන් වරක් පැමිණීමට සිදුවුවහොත් නිතර ඒමට සිදුවීම මත එක් අයෙකුට සෑහෙන මුදලක් වැයවන බවට තර්ක කරති . ඒනිසා අවධානම නොතකා මෙහි වාහන නතර කිරීමට පුරුදු වී සිටිති .
මෙම තත්වය මෙසේ තිබියදී රෝහල ඉදිරිපිට සුවසරණ පාමසිය අසලින් හැරෙන පාර වන විජේපාල මෙන්ඩිස් මාවතේද වාහන නතර කිරීමට මේවනවිට පුරුදු වී ඇත . ඒ අනුව මෙම පාරේ තදබදයක් නිර්මාණය වී ඇත . මෙහිදී වාහන පමණක් නොව යන එන මගීන්ද දැඩි අපහසුතාවයකට පත්වන බව පෙනේ. හේමාස් රෝහලේ පුද්ගලික රථගාල පවත්වාගෙන යන අය ප්‍රකාශකළේ මීගමුව පොලීසියට මේ ගැන දැනුම් දෙන නමුත් පොලීසිය පැමිණෙන විට අයිතිකරුවන් වාහන ඉවත්කර ගන්නා බවයි.
මෙහි පසුගිය (26) දා මෙසේ ඇතිවූ වාහන තදබදය අවස්ථාවේදී වාහන තුළ සිටින පුද්ගලයින් ආවේගශීලීව බහින්බස් වෙමින් සිටි ආකාරය අප දැක්කෙමු . ඒනිසා මෙම ප්‍රශ්ණය පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවුන හොත් විවිධ ප්‍රශ්ණ මතුවිය හැකි බව අප අවධාරණය කර සිටිමු .