මීගමුව සා.මරියා විදුහලේදි “ලොජික් පේපර්” එක එළියට ගිය හැටි ගැන අරුණ පත්තරේ හෙළිදරව්ව ?

0
230
මීගමුව ඉතිහාසයේ කිසි දවසක සිදුව නැති කිතුණු සභාවටද සමස්ත කිතුණු පුජක සංඝයටද, විදුහපති සේවාවටද නිගා දෙන සිදුවිම් පෙළක් මෙවර උසස් පෙළ විභාගය හරහා මතුව තිබේ.
ඒ කුප්‍රකට විභාග වංචාවට චෝදනා ලැබ සිටින්නේ විදුහල්පති පියතුමෙකි.
මිගමුවේ නම්දරා ඇති සා.මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා උසස් පෙළ ප්‍රශ්ණ පත්තරයක් පන්නා ගත් අන්දම සහ ඒ හරහා කිසියම් සිසුවෙකුට ඉතාමත් සංවිධානාත්මක ලෙසින් උදව් කිරිමට පියවර ගෙන ඇති අන්දම අද අරුණ පුවත්පතේ නිලන්ත මදුරාවල මාධ්‍යවේදියා විසින් ඉතා කදිමට විග්‍රහ කොට තිබේ.
ලෝගුවටත් තරම් නොවන මේ තුච්ඡ ක්‍රියාව කරන්නට තරම් මේ විදුහල්පති පියතුමා හා අදාල සිසුවා අතර ඇති සම්බන්ධය කුමක්දැයි මේ වන විටත් බරපතල ප්‍රහේලිකාවක් බවට පත්ව ඇත.
තම පාසැලත්, කිතුණු කමකත්, පුජකවරයත්,විදුහල්පති ධුරයටත් වඩා සිසුවෙක් ලොකුවි ඇත්තේ ඇයිද යන්න සැබැවින්ම ගැටළුවකි.

ඒ පිළිබදව දැන් දැන් විවිධ පැහැදිලි කිරිම් හෙළිදරව් වෙමින් තිබේ.

අරුණ පුවත්පත මේ අවස්ථාවේ මේ හෙළිදරව්ව කිරිම හරහා අතැම් කපටි ආගමික නායකයන්ගේ බොරු සළු පිළි ගැලවි ඇත්ත සමාජ නිරුවත් දැන් මොනවට පැහැදිලි වි තිබේ.
ඇතැමුන් ලෝගුවක් අබිමුවට පැමිණ විට ෂේප් න්‍යායයෙන් ඒ ලෝගුධාරියාව බේරිම සදහා ප්‍රබන්ධ ලියද්දි නිලන්ත ලෝගු ගැලවෙන තැනටම සිය පෑනෙන් පහර එල්ල කර තිබේ.පහත පළවන්නේ ඒ ගැන සම්පුර්ණ හෙළිදරව්වයි
st,marys college

මීගමුව සාන්ත මරියා විදුහලෙන් අසන්නට ලැබුණු අලුත් හොරකමකි. සාමාන්‍යයෙන් විභාගයක් අවස්ථාවේ දී අයැදුම්කරුවන්ට උදව් උපකාර කිරීමට පෙලඹෙන්නේ ටියුෂන් ගුරුවරුය. මන්ද තමන්ගෙන් ටියුෂන් ගන්නා සිසුන් උසස් සාමාර්ථ සහිතව සමත් කරවීම යනු ඔවුන් විභාග ප්‍රතිඵල ලැබීමෙන් පසු වඩා හොඳින් තොරොම්බල් කිරීම ටියුෂන් ගුරුවරුන්ගේ අපේක්ෂාව වන හෙයිනි. ඒ ඔස්සේ බඩකට පුරා තමන්ට ලැබෙන ලාභය විනා අන් යමක් ඔවුන්ගේ අපේක්ෂාව නොවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ එවන් ගුරු ‘සම්පතක්’ පිළිබඳ සියල්ල අනාවරණය වුව ද ගත් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නැත. ඒ නීතියේ හැටි යැයි කියා අත පිස දා ගැනීමට ද විභාග බලධාරීහු කටයුතු කළහ.මෙවර මීගමුව සාන්ත මරියා විදුහලේ සිදුවීම එතෙක් මෙතෙක් පැවති අක්‍රමිකතා අතර වෙනස් මානයක් ගන්නේ ශිෂ්‍යයාට අක්‍රමිකතා කිරීමට සහය දී ඇති බවට චෝදනා එල්ලවී ඇත්තේ විදුහලේ ප්‍රධානියා වීමය. එමෙන් ම එම අක්‍රමිකතාවට එරෙහිව ටියුෂන් ගුරුවරයකු පෙර ට ඒ ය. එය තවත් තීව්‍ර වන්නේ අක්‍රමිකතාවට සහය ලබා දී ඇත්තේ විදුහල්පතිවරයෙක් නොව විදුහල්පති පියතුමෙක් වීම නිසාය. චෝදනාව එල්ල වන්නේ ජයන්ත වික්‍රමසිංහ නම් එම විදුහලේ විදුහල්පති පියතුමාටය.

දිනය ඉකුත් 14 වැනිදාය. උසස් පෙළ විභගයේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු කොටසට අදාළ විභාගය පැවතියේ එදිනය. දිවයින පුරා විභාග මධ්‍යස්ථානවල දී හත්අටදහසක දරුවෝ එම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින් සිටියහ. සවස 1ට ආරම්භ වූ විභාගය සවස 3ට අවසන් වීමට නියමිතව තිබිණි. විභාගය ආරම්භ වී පැයකින් පමණ ජයන්ත වික්‍රමසිංහ විදුහල්පති පියතුමාගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වූයේ පාසල් පරිශ්‍රයේ සිටය. පියතුමා තමන්ගේ විදුහලේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය උගන්වන ගුරුවයරයා අමතමින් ප්‍රශ්න පත්‍රයේ 22වැනි ප්‍රශ්නය ප්‍රකාශ කරමින් විනාඩි පහක් ඇතුළත පිළිතුරු ඉල්ලා තිබිණි. බහුවරණ ප්‍රශ්නයක් වන එම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට ගුරුවරයාට වෙනත් ප්‍රශ්නයකට පිළිතුරු සෙවිමට සිදු වී තිබිණි. එනම් විභාගය අවසන් වීමට මත්තෙන් විභාග ප්‍රශ්නයක් පියතුමා අතට පත් වූයේ කෙසේ ද යන්නය. වසර ගණනක අත්දැකීම් ඇති වසන්ත මාරසිංහ නම් මෙම ගුරුවරයා සිදුවෙමින් පවතින්නේ බරපතළ සිද්ධියක් බව අවබෝධ කර ගිනිමින් පියතුමා අමතනු වෙනුවට නිශ්ශබ්දව සිට ඇත. පියතුමාගෙන් යළිත් තමන්ගේ දුරකථනයට ඇමතුමක් ලැබුණ ද වසන්ත මාරසිංහ ගුරුවරයා පිළිතුරු නොදීමට වග බලා ගත්තේ ය. පියතුමා ද යළිත් ඔහු නොඇමතුවේය.

වසන්ත මාරසිංහ ගුරුතුමා

පසුදින ගුරුවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ ඔහු නොදන්නා අංකයකිනි. ඒ……. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගෙනි.

කවරාකාරයකින් හෝ පෙර දින සිද්ධිය විභාග දෙපාර්තමෙන්තුවට දැන ගැනීමට ලැබී තිබිණි. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද ප්‍රශ්න කිරීම්වලට වසන්ත මාරසිංහ නොවලහා පිළිතුරු දුන්නේය. ඊටත් පසුදින එනම් 16 වැනිදා තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය දෙවැනි කොටසට අදාළ විභාගය පැවති දින දෙපාර්මේන්තුවේ නිලධාරීහු පිරිසක් පොලිස් නිලධාරියෙක් ද සමගින් විදුහලට පැමිණියහ. ඒ මොහොතේ විදුහල් ගේට්ටුව අසල ලැප්ටොප් පරිගණකයක් අතැතිව සිටි ශිෂ්‍යයෙක් යැයි සිතිය හැකි අයෙක් වේගයෙන් පාසල් පරිශ්‍රයට දිව යනු නිලධාරීන් දැක තිබේ. දිව ගිය තැනැත්තා තමන්ගේ පැමිණීම කිසිවකුට දැන්වීමට උත්සාහ ගත්තේය යන සැකය නිලධාරීන් අතර විය. ජයන්ත වික්‍රමසිංහ පියතුමා ඒ වන විටත් කාර්යාලයේ සිටියේය. කාර්යාලයේ දොර වසා දමා තිබී ඇති අතර එය විවර කර ඇත්තේ නිලධාරීන්ගේ පැමිණීමෙන් යම් වෙලාවකට පසුවය. කාර්යාලයට අමතරව ඇති කාමරයක් පිරික්සීමේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ද සිට ඇත. මෙම විමර්ශනයට අදාළ වසන්ත මාරසිංහ නම් ගුරුවරයා ද නිලධාරීන් විසින් පාසලට කැඳවා තිබිණි.

විභාග ශාලා පරිශ්‍රයට නිතිවිරෝධිව පුද්ගලයන් ඇතුල් වුයේ කෙසේද ?

විභාග දෙපාර්තමේන්තුවේ නියමය පරිදි කොවිඩ් වයිරස ව්‍යාප්තිය වළකවාලනු සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය පහසුකම් නිරීක්ෂණයට විදුහල් ප්‍රධානීන්ට බලය ඇතත් වෙනත් කිසිවකුට විභාග මධ්‍යස්ථාන පවතින පාසල්වලට ඇතූළු වීමට අවසර නැත. එවන් වාතාවරණයක ඉහත කී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා පාසල් පරිශ්‍රයට පැමිණියේ කවර හේතුවකට ද යන සැකය නිලධාරීන්ට මතු වී තිබේ. තර්ක ශාස්ත්‍රය පළමු කොටසට අදාළ විභාගය පැවති දින පියතුමා මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය හා සම්බන්ධ වී ඇතැයි ද පැවසේ. කෙසේ වුවද නිලධාරීන් පියතුමාගෙන් ප්‍රශ්න කළේ සියල්ල දැනගෙනය. විභාගයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වසන්ත මාරසිංහ ගුරුවරයාගෙන් විමසූ බව පියතුමා පිළිගෙන තිබේ. විභාගය අවසන් වීමට පෙර ප්‍රශ්න පත්‍රය ලැබුණේ කෙසේදැයි කළ විමසීමට පියතුමා ලබා දී ඇත්තේ බාලාංශ පිළිතුරකි. එනම් බිම වැටී තිබිය දී අහුලා ගත් බවය. ප්‍රධාන පෙළේ පාසලක පියතුමෙක් බරපතළ ප්‍රශ්නයක් හමුවේ ලබා දෙන පිළිතුරක් කෙතරම් වගකීම් සහගත හා විශ්වසනීයත්වයෙන් අනූන විය යුතුද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ජයන්ත වික්‍රසිංහ පියතුමා දුන් පිළිතුර එකෙනෙහිම බැහැර කළ නිලධාරීන් පෙරළා ප්‍රශ්නකර ඇත්තේ ප්‍රශ්නයට පිළිතුර ලබා ගැනීමට උත්සාහ කළේ ඇයි ද යන්නය. එවර ද පියතුමාගේ පිළිතුර වී ඇත්තේ “නිකමට විමසුවා”වැන්නකි.

වසන්ත මාරසිංහට තර්ජන

වෙමින් පවතින්නේ සිදුවීම් දාමයක අාරම්භයක් බව පැහැදිලි වන්නේ පැය කිහිපයක විමර්ශනයකින් අනතුරුව නිලධාරීන් පාසලෙන් පිට වූ පසුය. එනම් විවිධ පාර්ශ්වයන්ගෙන් වසන්ත මාරසිංහට තර්ජන හා බලපෑම් එල්ල විය. ඒවායේ ඉල්ලීම හා අවශ්‍යතාව වූයේ මෙම සිද්ධියෙන් විදුහල්පති පියතුමා ගලවා ගැනීම ය. දුරකථනයෙන් ඇමතුවේ පියතුමා නොව ශිෂ්‍යයෙක් යැයි කියන ලෙස ගුරුවරයාට කළ තර්ජනය විය. විමර්ශන නිලධාරීන් හමුවේ ඒ වන විටත් ලබා දී තිබූ ප්‍රකාශය වෙනස් කරන ලෙස ට ද වසන්ත මාරසිංහට බලපෑම් එල්ල විය. එහෙත් ඒ කිසිදු තර්ජනයකට හෝ බලපෑමකට යටත් නොවූ ගුරුවරයා තමන් කලින් දැරූ ස්ථාවයර වෙනස් නොකිරීම අගය කළ යුත්තකි. තමන්ට එල්ල වූ තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් ඔහු මේ වන විට මීගමුව පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අංශ දෙකකින් විමර්ශන ද ක්‍රියාත්මක වෙයි. එනම් විභාග දෙපාර්තමේන්තුවෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.

අට පාස් නැති දේශපාලන ගොට්ටන් සමූහයකගේ වන්දි භට්ටයන්

ජයන්ත වික්‍රමසිංහ පියතුමා සහ සිද්ධියට මුල් වී සිටින ගුරුවරයා අතර කාලයක සිට යම් මත ඝට්ටනයක් පවතින අතර මෙම සිද්ධිය ඒ මත දැමීමට ඇතැම්හු දැඩි උත්සාහයක යෙදෙති. වසන්ත මාරසිංහට වසර හතරකින් කාලසටහනක් ලබා දී නැත. ඔහු පාසලේ විනය භාර ගුරවරයා ලෙස පමණක් කටයුතු කළ යුතු තැනට පත් කර ඇත. ඒ ඇයි ද යන්න වෙනම විමර්ශනය කළ යුත්තක් වන්නා හා ම එවන් තත්ත්වයක් පාසලේ පවතින බව දැන දැනත් ‘බකංනිලා’ සිටි මීගමුව කලාප අධ්‍යාපන බලධාරින් පිළිබඳවත් සොයා බැලීම වැදගත් වෙයි. මන්ද අට පාස් නැති දේශපාලන ගොට්ටන් සමූහයකගේ වන්දි භට්ටයන් ලෙස සිය ආත්මය උකසට තබා ඇති නිලධාරීන් මීගමුව කලාපයේ සිටින හෙයිනි.

නිලන්ත මදුරාවල -අරුණ පුවත්පත