මීගමුව HQI ට මහාධිකරණයෙන් ඇප ලැබේ.

0
98

යුවලක් විසින් කොළඹ, කොහුවල ප‍්‍රදේශයේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසකින් මුදල්, මැණික් සහ රන් අභාරණ තොගයක් කොල්ල කන ලදී. කොල්ල කෑ භාන්ඩ සමග එම යුවල පසුගියදා මීගමුවේදී  අත්අඩංගුවට ගැණිනි. එලෙස අත්අඩංගුවට ගැනුනු එම යුවල සතියක පමන කාලයක් අයුතු ලෙස සිරකර තැබීම , කොල්ලකෑම සම්බන්ධයෙන් ද.දඩුවම් ලබා නොදී නිදහස ලැබෙන පරිදි ඔවුන් ව අතුරුදහන් කර තැබීම, අත්අඩංගුවට ගත් එම මුදල් සහ භාන්ඩ තොගය නඩු භාන්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් නොකර සාපරාධි සාවද්‍ය පරිහරණය  ඇතුළු අධි චෝදනා 13 ක් යටතේ මේ සිදු වීම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පරීක්ෂකවරයාව සහ මීගමුව පොලිසියේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණයේදී නඩු පවරා ඇත. ඒ අනුව මෙම යුවල සන්තකයේ රුපියල් 117,000 ක මුදල් ප‍්‍රමානයක් ද , ග‍්‍රෑම් 23.1 බර රන් අභාරණ ද මැණික් ගල් 220 ක්  ද ඇතුළු එම භාන්ඩ සපරාධි ලෙස පරිහරණය කිරීම මෙන්ම පොලිස් තොරතුරු පොතේ (M.O.I.B) අසත්‍ය කරුණු සටහන් කිරීම සහ බොරු සාක්ෂි ඇතුළු කිරීම යන චෝදනාවන්ද මෙම අධිචෝදනාවන්ට අයත් වේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධි චෝදනා මහාධිකරණයට ඉදිරිපත් කිරීම  පසුගිය නොවැම්බර් 08 වැනි අඟහරුවාදා දින මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේදී සිදු විය. එහිදී මේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප‍්‍රධාන සැකකරු වූ නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 56 හැවිරිදි මීගමුව හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ නැමැත්තාවද මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එලෙසම ඔහු සමග රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මීගමුව පොලිස් ස්ථානයේ සේවය කල සෙසු පොලිස් නිලධාරීන්  තිදෙනා වන   හලාවත ප‍්‍රදේශයේ පදිංචි ආනන්ද රාජා නැමැති පොලිස් කොස්තාපල් වරයා ද එලෙසම   බාදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචි ගාමිනී පුෂ්පකුමාර සහ කුරුනූගල, මල්කඩුවාව ප‍්‍රදේශයේ පදිංචි රත්නායක බන්ඩා යන පොලිස් සැරයන් වරුන් දෙදෙනාවද මෙදින මහාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නැගෙන මේ සියළු චෝදනා වලට සැකකරුවන් හෙවත් විත්තියේ පාර්ශවය නිවැරදිකරුවන් බවට මහාධිකරණ විනිසුරු ඉදිරියේදී ප‍්‍රකාශ කෙරිණි. එලෙසම මෙහි තුන්වන සැකකාර පොලිස් නිලධාරියාට එරෙහිව පොලිස් තොරතුරු පොතේ  : (M.O.I.B)අසත්‍ය කරුණු සටහන් කිරීම යන චෝදනා ගොනු කර තිබිණි.
ඒ අනුව මහාධිකරණ විනිසුරු විසින් එක් අයෙකුට රුපියල් 25000 ක මුදල් ඇපයක් බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 04 ක් බැගින් වන ශරීර ඇප, ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත මෙම සැකකකරුවන් සිව් දෙනාව මුදා හැරීමට නියෝග කලේය. ඒ අනුව මෙම නඩුවේ නැවත විභාගය ලබන වසරේ එනම් 2012 මාර්තු 12 වැනි දින පැවැත්වීමටද මහාධිකරණ විනිසුරු නියෝග කලේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා ද එලෙසම ඉන්දික සිල්වා මහතා සහ චානක රණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ. එමෙන්ම රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර කොළඹ, මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ විම්ර්ෂන අංශය විසින් පැමිණිල්ල මෙහෙයවයි.