මීගමු කලපු දූපත් වල ගුරුගේ නටන රිලා නැටුම තුළ අසරණවූ සතුන්ගේ ඛේදවාචකය….

0
290

IMG-20201105-WA0028

මීගමුව නගරයේ ඇති සිත් ඇදගන්නා සුළු සුන්දර ස්ථාන වලින් එකක් වන්නේ මීගමු කලපුවයි. මෙම කලපු දූපත් වල ඇති කඩොලාන වන ගහනය නිසා එහි සුන්දරත්වය තව තවත් මතුවී පෙනේ.
මෙකී දූපත් වල විවිධ වර්ගයේ කුරුල්ලන් සිටිති. මෑතකදී මෙහි රිලවුන් ද සිටින බවත් , එම රිලවුන් එක් ව්‍යාපාරිකයෙකු විසින් ගෙනැවිත් දමා ඇති බවත් , ධීවර ජනතාව අතර කතාබහක් ද ඇතිවිය. එසේම
මෙහි එක් දූපතකට “Kings iland ” යන නම යොදා එය තමන්ගේ බූදලයක් ලෙස භාවිතා කරන මෙම ව්‍යාපාරිකයා ගැන මීගමු නගරයේ නොදන්නා කිසිවෙකු නැත. ඒ සඳහා අදාල සියළු බලධාරීන්ගේ ආශීර්වාදයද ඔහුට ලැබී ඇත. ඔහු තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම උදෙසා ඕනෑම දෙයක් කරන වර්ගයේ පුද්ගලයෙකි.

කෙසේ නමුත් ඔහු රැනෙ ආ රිලවුන් තිහක පමණ සංඛ්‍යාවකට අද කුසගින්නේ සිටීමට සිදුවී ඇත. පරිසරය සහ සතුන් පිළිබඳව ආදරයක් සහ අවබෝධයක් ඇති පිරිසකට මේ ගැන ආරංචිවී ඔවුන් වහාම ක්‍රියාත්මක විය.
ඒ මුතුරාජවෙල අඩවිවන නිලධාරී ලසන්ත ගුනවර්ධන මහතා සහ ඔහුගේ කාර්‍යමණ්ඩලයයි. මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා අප ඔහු දුරකතනය මගින් සම්බන්ධ කර ගත්තෙමු. මේ අනුව ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

” මීගමු කලපු දූපත් වලට කව්දෝ ව්‍යාපාරිකයෙක් ගෙනැවිත් දමා ඇති රිලවුන් ගැන සොයාබලන්න අද කව්රුත් නෑ. ධීවරයින් මේ සතුන්ට කෑම දෙන නමුත් එය නිතර සිදුවන්නේ නෑ. ඒ වගේම වෘක්ෂලතා සහ ආරක්ෂක ආඥා පනත අනුව ඊට අදාල ලේඛනයට මෙම සතුන් අයත් වෙන්නෙ නෑ. නමුත් මෙම සතුන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක් බැවින් , අපි මේ සඳහා යම් පියවරක් ගතයුතුයි. එබැවින් වනජීවී අධ්‍යක්ෂක ජනරාල් වෙත මේ ගැන වාර්තාවක් යවා ඉදිරි පියවරක් ගැනීමට තමයි අපි සූදානම් වෙන්නෙ. “

දැන් රිලවු ගෙනආ ව්‍යාපාරිකයා හෝ ඔහුට ඒ සඳහා අතහිත දුන් අයද අහලක වත් නැත. එසේම විවිධ ප්‍රශ්ණ වෙනුවෙන් මැදිහත් වන ජනතා සංවිධානද නැත. කොරොනා වසංගත තත්වය මත මිනිස්සු වගේම මෙම සතුන්ද අසරණ වී සිටිති. කඩොලාන ශාඛ වල කොල හෝ දළු කෑමටද මෙම සතුන්ගේ රුචියක් නැත. මෙකී තත්වය මත මෙම අසරණ සතුන් වෙනුවෙන් අඩවි වන නිලධාරී ලසන්ත මහතා ඇතුළු එම කාර්‍ය මණ්ඩලය ගන්නා උත්සාහය අප අගය කළ යුතුය.

සැම්සන් ඥානසිරි