මිගමු කලපුව පිළිබඳව ඉතිහාසයේ කතාබහට ලක්වූයේ ලංකාවේ ඇති සුන්දර ස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා තැනක් ලෙසය. නමුත් අදවනවිට මේතත්වය වෙනස්වෙමින් පවතින බව මතුවෙමින් පවතින විවිධ විරෝධතාවයන්ට අනුව පැහැදිළිවේ. මේ සදහා බලපාන ප්‍රධාන හේතුව නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් මත නිසා මිනිසුන් විසින්ම මේ පවතින තත්වය වෙනස් කළ යුතුව ඇත. කළපුවට බැහැරකරන විවිධ වර්ගයේ අපද්‍රව්‍ය මත පාරිසරික වශයෙන් විශාල විනාශයක් ධීවර ජනතාවට මෙන්ම ඒ පිළිබඳ සංවේදී වන සියළු දෙනාටම දැන් දැන් දැනෙමින් පවතී. මේ අනුව තමන්ට දැනෙන ප්‍රමාණයේ අඩු වැඩි බව මත ජනතා ක්‍රියාකාරීත්වයකට මග පෑදෙමින් ඇති බව පෙනේ. පසුගිය දිනවල මීගමුව පිටිපන ප්‍රදේශයේ කරවල වාඩි ආසන්නයේ ජීවත්වන ජනයා මේගැන තම වරෝධාතාවය පළකරමින් සංවිධානය වී සිටිති. , මේවනවිට නඩු 4ක් අධිකරණයට යොමුකොට ඇත. එසේම පෙත්සම් අත්සන් කිරීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වල යෙදී මෙම ප්‍රශ්ණය විසඳා ගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණ වී ඇත.
මේ අතර කලප ුවේ මතුවී ඇති මෙකී ප්‍රශ්ණයට ඍජුවම මුහුණදෙන තවත් පිරිසක් ලෙස කට්ටුදැල් ධීවරයා හැඳින්විය හැක. මේ අනුව කලපු පරිසරය විනාශ කිරීමට එරෙහිව ( 22දා) පාරම්පරික ධීවරයින් වන කට්ටුදැල් සමීති 4ක නියෝජිතයෝ එකරැස්වී සාකච්ඡා කළ අතර මේ සඳහා ප්‍රයෝගික වැඩපිළිවෙලක්ද යෝජනා කර ගත්හ. කලපුවට සිදුවන හානියට ප්‍රධාන හේතුවක් වීඇති කරවල වේලීමේ ප්‍රමිතියකින් තොර ක්‍රියාදාමය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනින. කරවල වේලීමේදී අපද්‍රව්‍ය ලෙස එකතුවන මාළු ඔළු, බොකු, කටු, පොලිතීන්, ඍජුපෝම් ආදියත්, විශේෂයෙන් සෝදා හරින ලුණු නිසා කලපුවේ ලුණු සාන්ද්‍රණය වැඩිවී එය මාළු බෝවීම කෙරෙහි බලපාන ආකාරයත් , ඒවා බැහැර කිරීමේදී කිසිදු වගවිභාගයක් නැතිව කටයුතු කරන ආකාරය ගැනත් මෙහිදී අදහස් ඉදිරිපත් කරන ලදී.
මෙකී තත්වය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කළද කිසිදු විසඳුමක් නොලැබුනු බැවින් , මූලික පියවරක් ලෙස සෘජුවම ජනාධිපති තුමා වෙත ලිපියක් ඉදිරිපත් කිරීම සුදුසුයැයි යෝජනා වූ අතර ඊට සමීති 4ම එකඟතාවය පළවිය. ඊට අමතරව නැවතවරක් ප්‍රාදේශීය ලේකම් , නගරාධිපති ඇතුළු නිලධාරීන් හමුවීමටද තීරණය කරගන්නා ලදී. මීගමුවේ පාරම්පරික කට්ටුදැල් සමීති පහක් ඇත. මේ අතරින් පිටිපන කට්ටුදැල් සමීතිය වෙනම රැස්වන අතර අනෙක් සමීති ඒකාබද්ධව ක්‍රියාත්මක වේ. ශාන්ත පේදුරු සමීතිය. (මහවීදිය) ,ශාන්ත සෙබස්තියන් සමීතිය( වැල්ලවීදිය), දූව – දේවමාතා සමීතිය.පිටිපන වීදිය සමීතිය මෙසේ ඒකාබද්ධව රැස්වී තීරණයකට පැමිණියේ කලපුව රැකගැනීමේ මෙම ක්‍රියාවලිය කුමන බාධක ආවත් නතර නොකරමින් ඉදිරියට කරගෙන යන බවට පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.