මීගමු නගරයේ වැලපෙන තාප්පය…

0
278

මේ තාප්පය ඇත්තේ මීගමුව බස් ඩිපෝවෙහිය. නගරයේ අනෙකුත් තාප්ප වසරකට වරක් හෝ දෙවරක් හුණු පිළියම් කර පිරිසිදු කරයි. පරණ තාප්පයක් නම් මල් වැලක් හෝ යවා පරණ ගතිය වසා දමයි. මේ නගරයේ ප්‍රධාන පුරවැසියාගේ තාප්පයේ සිට අනෙකුත් පුරවැසියන්ගේ තාප්ප එවැනි සැළකුම් ලබන නමුත් මෙම තාප්පයට ලැබෙන්නේ කුඩම්මාගේ සැළකුම්ය.
අවට ප්‍රදේශවාසීන් තමන්ගේ කුණු ගෙනැවිත් දමන්නේ මෙම තාප්පය අසලය. දේශපාලකයින්ගේ සහ ටියුෂන් මාස්ටර්ලාගේ පෝස්ටර් ඇලවෙන්නේද මෙම තාප්පයේය. එසේ වන්නේ මෙහි ඇති අබලන් බව නිසාමය.
තාප්පය දෙස මීගමුව සෙල්ලකන්ද පාරේ සිට හොඳින් බලනවිට ඩිපෝව ඇතුලත සියළු දෑ පෙනේ. කතාබහ කරමින් වැඩකරන කාර්මික මහත්වරු, නවතා ඇති බස්රථ ආදී සියල්ල තාප්පයේ කැඩුනු තැන්වලින් පෙනේ. මේ තත්වය මත ඕනෑම හොරෙකුට තාප්පයෙන් ඇතුලට විත් ඕනෑම දෙයක් රැගෙන යාමේ ඉඩ කඩක් ඇත.

මීට පෙර අප මෙහි වහලය ගැනද සඳහන් කර බලධාරීන් දැනුවත් කළෙමු. නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැත. බස් ඩිපෝවේ නිලධාරීන් හෝ වසර ගනනාවක් පැරණිවූ තාප්පය ගැන පියවරක් නොගෙන සිටින්නේ ඇයිද? යන්න ප්‍රශ්ණ කළයුතුය. සමහර විට ඔවුන් මේ ගැන රජය දැනුවත් කළා වන්නට පුළුවන. මෙහිදී ප්‍රතිපාදන නැති කතා මගින් සියළු දෑ මගහැරයා හැක.
නමුත් මීගමු මහ නගර සභාවේ එක පාටියකට හෝ එක සවාරියකට යන මුදල මේ හා සසඳා බැලීම මෙහිදී වැදගත් කරුණක් වනු ඇත. නගරයේ විවිධ තැන්වල අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීම් ඕනෑ තරම් ඇති නමුත් ඒවා බලධාරීන්ගේ අවධානයට ලක්වී ඇති බවක් නොපෙනේ. ⁣
කෙසේ නමුත් වසර ගනනාවක් පැරණි සෙලවෙන දතක් සේ පවතින මේ තාප්පය පිළිසකර කිරීම ඉක්මණින්ම සිදුනොවුන හොත් එය බිමට කඩාවැටීමද ඉක්මණින්ම සිදුවන බව ප්‍රදේශවාසීන් පවසති. එබැවින් අප නැවත නැවතත් මේ ගැන සියළු බලධාරීන්ට අවධාරණය කර කියා සිටින්නේ වහාම මේ ගැන මැදිහත්වී පියවරක් ගන්නා ලෙසය.
සැම්සන් ඥානසිරි