මීගමු රෝහලට කෝ රථගාලක් ?

0
58

IMG-20190713-WA0008මීගමුව  මහරෝහල  සහ  මාරිස්ටෙලා  විදුහල  අතර  ඇති  මෙන්ඩිස්  මාවත  අනවසර  රථගාලක්  ලෙස  භාවිතා  කිරීම  නිසා    මතුව  තිබූ  ආරක්ෂාව  පිළිබඳ  ප්‍රශ්ණය  ගැන  අප  දිගින්  දිගටම  අපගේ  වෙබ්  අඩවියේ   ලිපි  මගින්  නිතර  අවධාරණය  කල    අතර  වගකිවයුත්තන්  සමග  නිතර  සාකච්ඡා ද   කළෙමු.
පොලීසිය  විසින්  රෝහල්  තාප්පයේ  සහ  මෙම  විදුහල්  තාප්පයේ  තහනම්  නියෝග  ඇතුලත්  දැන්වීම්  පුවරු  සහ  කටවුට්  සවිකරන  ලදී.  නමුත්  මෙම  ස්ථානයේ  යතුරුපැදි  නවතා  තැබීම  නතර කිරීමට  නොහැකි  විය.  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  බෝම්බ  පිපිරීමෙන්  පසු    හමුදාව  සහ  පොලීසිය  වැඩි  අවධානයක්  දී  කටයුතු  කළ  බැවින්  යම් ප්‍රමාණයකට  වාහන  නැවැත්වීම  අඩුවූ  නමුත්    කෙටි  කලක් තුළ  මෙම  ස්ථානයේ    යතුරු පැදි,  ත්‍රීවීල්,  පාපැදි  ආදිය  නතර  කිරීම  නැවතත් සුපුරුදු  ලෙස  ආරම්භ  කරන  ලදී.

මේ  පිළිබදව   නියෝජ්‍ය   රෝහල්  අධ්‍යක්ෂක  වන  මහේන්ද්‍ර   මහතා  ප්‍රකාශ කළේ  ඉදිරියේ දී  පවතින  කලබලකාරී  තත්වය  අඩුවූ  පසුව  රෝහල්  භූමිය   ඇතුලත  යම්  ඉඩක්  වෙන්කර  ගනිමින්    රෝගීන්  රැගෙන  එන  වාහන  වලට  පමණක්  ඉඩකඩ   ලැබිය හැකි  රථගාලක්  සකස්  කිරීමට  අදහසක්  පවතින   බවත්  යතුරුපැදි  සදහා  එම  ස්ථානය  භාවිතා  කළ  නොහැකි  බවත්ය.
මීලගට   අප  මේ  පිළිබවදව   රෝහල්  සංවර්ධන  පදනමේ  සභාපති  ක්‍රිෂාන්ත  දල්පදාදු  මහතා  සමග    සාකච්ඡා  කළෙමු.
තමන්  මේ  ගැන  මීගමුව  පොලීසියේ  මසකට  වරක්  පවත්වන  මාර්ග  ආරක්ෂක  කමිටුවට  ඉදිරිපත්  කළ  බවත්,  එහිදී  මේ  සදහා  විකල්පයක්  ලෙස  විජේපාල  මෙන්ඩිස්  මාවතේ  තැන්  කිහිපයක්  යොදාගෙන  මෙම  ප්‍රශ්ණයට  විසදුමක්   ලබාගතහැකි  බවට  අදහසක්  යෝජනා වූ  බව පවසා සිටියේය.
ඒ නිසා  ඉදිරියේදී  මෙකී  පාර  පිළිබදව  ‍විමසා  බැලීම  සදහා  මීගමුව  පොලීසියේ  අදාල  නිලධාරි  මහතුන්  සහ  ක්‍රිෂාන්ත මහතාද    කටයුතු  කරන   බව  අප සමග  පැවසීය.