මීගමු රෝහලෙන් බීමත් රියදුරෙකුට පරස්පර විරෝධී අධිකරණ වෛද්‍ය වාර්තා දෙකක්. ??

0
62

පෞද්ගලික වෛද්‍ය මථ්‍යස්ථානයක සේවය කරන තරුණියන් දෙදෙනෙකු සේවය නිමවා තවත් වයෝවෘද්ධ තැනැත්තෙකු සමග පයින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කල ත්‍රි රෝද රථයක හා ගැටීමෙන් අනතුරට ලක් වී තිබේ. පසුගිය නොවැම්බර් 19 වැනි සෙනසුරාදා දින රාතී්‍ර 9.45 ට පමන මීගමුව බෝලවලාන මංසන්දිය අසලදී මේ තරුණියන් දෙදෙනා සහ ඔවුන් කැටුව පැමිණි වයෝවෘද්ධ පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෙම ත්‍රිරෝද රථ රියදුරා බීමතින් සිටි බවද වාර්තා වේ.

ඉන් පසුව එතැනට පැමිණි මීගමුව පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ ගැටී තුවාල ලබා සිටි තරුණියන් දෙදෙනා සහ වයෝවෘද්ධ පුද්ගලයාව මීගමුව රෝහලට යොමු කර තිබේ. එලෙසම ඒ අවස්ථාවේ  බීමතින් සිටි  ත්‍රි රෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී මීගමුව පොලිසියට ඉදිරි නීතිමය කටයුතු කිරීමට ත්‍රි රෝද රථ රියදුරුගේ බීමත්කම පරික්ෂා කර බැලීමට අවශ්‍ය වුවත් ඒවාට අවශ්‍ය නිසි වෛද්‍ය පරීක්ෂන උපකරණ ( බීමත් අයව පරීක්ෂා කිරීමට යොදා ගැනෙන බැලූම් හා සමාන උපකරණ ) දැනට කාලයක සිට මීගමුව රථවාහන පොලිස් අංශයේ නොමැති වීම හේතුවෙන් ත්‍රි රෝද රථයේ රියදුරුව මීගමුව රෝහලේ අධීකරණ විශේෂඥ වෛද්‍ය ඒකකයට යොමු කර තිබේ. එහිදී සහකාර අධීකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් ලබා දුන් වාර්තාවේ සදහන් කර තිබුනේ ත්‍රි රෝද රථ රියදුරු ඒ අවස්ථාවේ මත්පැන් පානය කර නොමැති බවයි. එහිදී පොලිස් නිලධාරීන් ට එය අදහා ගත නොහැකි වී තිබේ.. පසුව පොලිස් නිලධාරීන්ද අනතුරට පත් තිදෙනාගේ පාර්ශවයන්ද එම සහකාර අධීකරණ වෛද්‍ය නිලධාරියාට සහ ඔහු විසින් නිකුත් කල අධිකරණ වෛද්‍ය වාර්තාවටද දැඩි ලෙස විරෝධය පල කර තිබේ.  විශේෂයෙන්ම අනතුරට ලක් වූ තරුණියන් දෙදෙනා සේවය කරන පෞද්ගලික වෛද්‍ය මථ්‍යස්ථානය පවත්වාගෙන යන  සුජීව නැමැති වෛද්‍යවරයාගේ දැඩි විරෝධය එම සහකාර අධීකරණ වෛද්‍ය නිලධාරියා වෙත පල කර ඇත.
වාර්තා වන පරිදි මීගමුව රෝහලේ හිටපු අධීකරණ විශේෂඥ වෛද්‍යවරයෙකුටද මේ අසාධාරන අධිකරන වෛද්‍ය වාර්තාව පිලිබදව මෙහිදී දැනුවත් කර තිබේ. ඉන් පසුව මීගමුව පොලිසියේ නිලධාරීන් හා පෙර සදහන් කල පෞද්ගලික වෛද්‍ය මථ්‍යස්ථානය පවත්වාගෙන යන සුජීව නැමැති වෛද්‍යවරයාත් එක්ව මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. ඒ. දයාපාල මහතාට දුරකථනයෙන් මෙම අසාධාරන අධිකරණ වෛද්‍ය වාර්තාව පිලිබ`දව දැනුවත් කර ඇත. ඒ අවස්ථාවේ කොළඹ සිට මීගමුවට පැමිනෙමින් සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. ඒ. දයාපාල මහතා පැයකට පමන පසුව පැමින නැවතත් මීගමු රෝහලේදී අදාල ත්‍රි රෝද රථ රියදුරුව පරීක්ෂාවට ලක් කර අධිකරන වෛද්‍ය වාර්තාවක් ලබා දී තිබේ. එම වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇත්තේ ඒ වන විටත් එම තී්‍ර රෝද රථ රියදුරා බීමත්ව සිටින බවයි.
මෙහිදී මීගමුව පොලිස් නිලධාරීන් පවසන්නේ මේ ආකාරයට එකම පුද්ගයෙකු සම්බන්ධයෙන් ලබා දෙන පරස්පර විරෝධී වෛද්‍ය වාර්තා දෙකක් නිසා අසාධාරනයට ලක් වූ (අනතුරට ලක් වූ අයට) පුද්ගලයින්ට නිසි පරිදි සාධරණය ඉටු කිරීමට පොලිසියට  බාධා මතුවන බවයි. කෙසේ වෙතත් අදාල තී්‍ර රෝද රථ රියදුරාට මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. ඒ. දයාපාල මහතා ලබා දුන් වාර්තාව සත්‍ය වාර්තාව ලෙස පිලිගන්නා බවට ප්‍රකාශ කල පොලිසිය ඒ අනුව ත්‍රි රෝද රථ රියදුරුට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද සදහන් කලේය. ඒ අනුව මීගමුව පොලිසිය මගින් ඔහුව නොවැම්බර් 21 වැනි සදුදා දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ සිදුවීම සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වන මීගමුව රථ වාහන පොලිස් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කලේ බීමත් රියදුරන්ව පරීක්ෂා කිරීමට යොදා ගැනෙන වෛද්‍ය උපකරණ දැනට සැහෙන කාලයක පටන් මීගමුව පොලිසියට ලබා නොදීම හේතුවෙන් මෙවැනි පරස්පර විරෝදී අවුල්සහගත සිදුවීම් වලට තමන්ට මුහුන දීමට සිදු ව ඇති බවයි. එම වෛද්‍ය උපකරණ මීගමුව පොලිසියේ තිබුනේ නම් මෙවැනි පරීක්ෂණ ඉතා ඉක්මනින් සහ පහසුවෙන්  පොලිසිය තුලම සිදුකල හැකිව තිබූ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.