මීගමු රෝහලේ ට‍්‍රැක්ටරය අළුත් වැඩියා නොකිරීමෙන් කැලි කසල ප‍්‍රශ්නයක්.

0
70

(Negombo)

මීට වසර කිහිපයකට කලින් මීගමුව මහා නගර සභාවේ මැදිහත්වීමෙන් මීගමුව රෝහලට කැලි කසල බැහැර කිරීමට ලබා දී ඇති ට‍්‍රැක්ටරය දැනට මාස කිහිපයක සිට ධාවනය කර ගත නොහැකි තත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ. රෝහල් ආරංචි මාර්ග වලින් පැවසෙන පරිදි එම ට‍්‍රැක්ටරයේ ඇන්ජිමේ සිදු විය යුතු අළුත් වැඩියාවන් කිහිපයක්ද පවතින අතර මෙහි ටේලරය උඩට එසවෙන හයිඩ්‍රොලික් පොම්පය ද අකි‍්‍රය වී තිබේ. එමෙන්ම මෙම ටේලරය ආවරනය කල තහඩුවද ස්ථාන කිහිපයකින් දිරාපත්ව ඇති අතර මේ තත්වය මත කැලි කසල රැගෙනයාමේදී ඒවා ඉවතට වැටී පාර පුරා විසිරෙන බවට ද රෝහලේ රියදුරන් විසින් පවසා තිබුණි.

මේ වන විට මේ ට‍්‍රැක්ටරය 12 වැනි වාට්ටුව පිටුපස කැලි කසල ගොඩ ගසා ඇති ස්ථානයේ ගාල් කර ඇත.  මේ තත්වය මත රෝහලේ දෛනිකව එකතු වන කැලිකසල ක‍්‍රමානුකූලව රෝහලෙන් බැහැරට රැගෙන යාමට නොහැකි වී දින කිහිපයක් එක තැනක තබා ගන්නට සිදුවීමෙන් අධිකවූ කැලි කසල ප‍්‍රමානයක් දින කිහිපයක සිට එක තැන ගොඩ ගැසෙමින් පවතී. මෙම ට‍්‍රැක්ටරය ධාවනය වූ කාලයේදී නම් රෝහලේ එලෙස එකතු වන කැලි කසල දින පතාම රෝහලින් බැහැරට ගෙන යාම සිදු වුණි. නමුත් මේ තත්වය මත දින කිහිපයක සිට එලෙස එකතු වන කැලි කසල දැනට 12 වැනි වාට්ටුව පිටුපස එකතු වෙමින් තිබෙනු දක්නට ලැබේ. මේ දිනවල රෝහලේ එලෙස දින ගනන් එකතු වන කැලි කසල දින 05 කට 06 කට වරක් පමන මීගමුව නගර සභාවට අයත් ට‍්‍රැක්ටර් රථ මගින් බැහැර කෙරේ.
මෙම තත්වය  සමස්ථ රෝහල කෙරෙහිම විශේෂයෙන්ම 12 වැනි වාට්ටුවට කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපානු ඇත. එලෙසම රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ 12 වැනි වාට්ටුව යනු ගර්භනී මාතාවන් සඳහා වෙන්වුන වාට්ටුව නිසා එහි පවිත‍්‍රතාවයට හා පිරිසිදුකමට මෙලෙස එක තැන ගොඩ ගැසෙන කැලි කසල ප‍්‍රශ්නය නිසා දැඩි අවධානම් සහිත තත්වයක් මතුවනු ඇති බවයි. විශේෂයෙන්ම විවිධාකරයේ කැලි කසල එක තැන දින කිහිපයක් පවතින විට මැසි මදුරුවන් හා පනුවන් බෝ වීමේ අවධානමත්  එලෙසම ආසාධන පැතිරීම වැනි ඉතා අවධානම්කාරී තත්වයන්ටද මෙය ප‍්‍රධාන හේතුවක් විය හැකිය. මෙයට ඉතා ඉක්මන් විසදුමක් ලබා නොදෙන්නේ නම්  දින ගනනක් තිස්සේ එක තැන ගොඩ ගැසෙන කැලි කසල නිසා  ඉදිරියේදී ඇති විය හැකි වර්ෂා කාලයේදී මේ ප‍්‍රශ්නය තවත් ඔඩු දුවනු ඇත.
මෙම ට‍්‍රැක්ටරය සහ ටේලරය අළුත් වැඩියා කල යුතු වන්නේ මීගමු රෝහල විසිනි. රෝහල පාලනය වන බස්නාහිර පලාත් සභාවෙන් මෙතෙක් මෙම ට‍්‍රැක්ටරයේ සහ එහි ටේලරයේ අළුත් වැඩියා කටයුතු වලට ප‍්‍රතිපාදන වෙන් කර නොමැති බවද වාර්තා වේ. එලෙසම රෝහල් බලධාරීන් විසින් මේ ට‍්‍රැක්ටර හා ටේලරය අළුත් වැඩියා කර දෙන ලෙස මීගමුව මහා නගර සභාවෙන් හා මීගමුව රෝහලට වෙනත් පරිත්‍යාග සපයන ආයතන මෙන්ම සංවිධාන වලින් ද ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.