මීපුර පුවත පලදරයි

0
73

” නගරයට අශෝභනයි ! අනතුරකට අත වනයි ! බලධාරීන් නිදි වගෙයි ! ”
යන ශීර්ෂ පාඨය පෙරදැරිව පසුගිය අප්‍රේල් 09 වැනි දින අප ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පුවතක් පළ කළේය. එම පුවත මගින් අප හෙළිදරව් කළේ මීගමු නගරයේ ,ග්‍රීන්ස් පාරේ ඔරලෝසු කණුව පිහිටා ඇති හතරමං හන්දියේ සිට බෞද්ධ මන්දිරය දෙසට යන විට ,එම මාර්ග කොටසේ ඉතාම අවදානම්කාරී සහ අනතුරුදායක ස්ථාන දෙකක් ඇති බවයි. ඉන් එකක් අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල ට ඇතුළු වන ස්ථානයේ ය. අනෙක් ස්ථානය වන්නේ බෞද්ධ මන්දිරය ඉදිරියෙන් ඇති ඩී.එස්.අයි. පාවහන් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිටයි. මෙම ස්ථාන දෙකෙහිම
අප ජලය බැස යාමට තනා ඇති කානුවට උඩින් සවිකර ඇති කොන්ක්‍රීට් ආවරණ කැඩී ගොස් , කානුමාර්ගය නිරාවරණය වී ඇති ආකාරය දැක ගත හැකි විය. මෙම කොන්ක්‍රීට් ආවරණ කැඩී ගොස් වසර දෙකක පමණ කාලයක් ඉක්ම ගොස් තිබූ අතර ඒවා නැවත සකස් කර හෝ ඒ වෙනුවට නව කොන්ක්‍රීට් ආවරණ සවිකිරීමට හෝ නගර බලධරයන් මෙතෙක් උත්සුක වී තිබුණේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී අප ප්‍රවෘත්ති වෙබ් අඩවියේ මෙම පුවත පලකර මසක පමණ කාලයක් ඉක්ම යන්නටත් පෙර එනම් දැනට දින දහයකට පමණ පෙරාතුව නගර බලධරයන් විසින් මෙම ස්ථාන දෙකෙහි කානු මාර්ගයේ මතුපිට කැඩී ගොස් තිබූ කොන්ක්‍රීට් ආවරණ එම ස්ථාන වලින් ඉවත් කර නව කොන්ක්‍රීට් ආවරණ යොදා එම කානු මාර්ගයේ මතුපිට මනාව සකස් කර ඇති ආකාරය දැකගත හැකි විය.

එලෙසම රටේ ප්‍රධානතම වානිජ නගරයක් සහ සංචාරක පූරයක් වූ මීගමුව නගරය වැනි සුපිරි නගරයක මෙවැනි අනතුරුදායක ස්ථාන තිබීම සහ ගැලවී ගිය කොන්ක්‍රීට් ආවරණ අවිධිමත් ලෙස රඳවා තබා යාම නගරයේ අලංකරණයටද විශාල හානියක් සිදුව ඇති බවද එම පුවත මඟින් වැඩිදුරටත් හෙළිදරව් කරන ලදී.
ඒ අනුව නගරයේ අලංකරත්වයටද එලෙසම නගරයේ අනතුරුදායක බවට ද හේතුවක් වී ඇති මෙවැනි ස්ථාන නිරන්තරයෙන් නිරීක්ෂණය කර එම ස්ථාන නිසි ලෙස සහ විධිමත් ආකාරයට නැවත අලුත් වැඩියා කර ස්ථාපිත කිරීම වගකිවයුතු නගර බලධරයන්ගේ වගකීමක් සේම යුතුකමක්ද බවද එම පුවත මගින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් පළ කළ නම සඳහන් කිරීමට අකමැති වූ ත්‍රී රෝද රථ රියදුරෙකු අප වෙත ප්‍රකාශ කළේ මෙම ස්ථාන වල කානු ආවරණය කර ඇති මතුපිට කොන්ක්‍රීට් ආවරණ කැඩී ගොස් දැනට වසර දෙකක් පමණ කාලයක් එය අලුත් වැඩියා කර දෙන්නට නගර පාලකයන්ට නොහැකි වූ බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මීපුර ප්‍රවෘත්ති වෙබ් අඩවියේ මේ සම්බන්ධව පුවත පළ වී මසක කාලයක් ගතවීමටත් පෙර නගර බලධරයන් මෙම ස්ථාන වලට නව කොන්ක්‍රීට් ආවරණ යොදා අලුත් වැඩියා කර තිබීම සම්බන්ධව මීපුර ප්‍රවෘත්ති වෙබ් අඩවියට සිය ස්තුතිය පුද කරන බවයි.