මුතුරාජවෙල කසල අංගන ගින්නට වගකිව යුත්තේ කවුද ?

0
250

FB_IMG_1582298745836

සීදූව අම්බලන්මුල්ල ප්‍රදේශයේ සීදුව නගර සභාව විසින් නිදහස් වෙළඳ කලාපය ඇතුලු ප්‍රදේශයේ කැළි කසල බැහැර කරන භූමිය ඊයේ දින (20.20.2020) සැලසුම් සහගතව කවුරුන්හෝ විසින් ගිනි තබා ඇත. පරිසර යුක්ති කේන්ද්‍ර (Centre for Environmental Justice) නිලධාරීන් විසින් අද දින (21.02.2020) එහි ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකරන ලද අතර ඒ වනවිටත් එම ගින්න මැඩ පැවැත්වීමට ත්‍රිවිධ හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය මෙන්ම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව එක්ව මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටියහ.

මෙම ස්ථානයට බැහැර කර ඇති කැළි කසල නැවත ප්‍රතිචක්‍රීකරණය කලහැකි කැළි කසල වන අතර එයින් 99%ක් පමණම වරක් පමණක් භාවිතා කර ඉවත ලන පොලිතීන් හා ප්ලාස්ටික් වේ. එයිනුත් 50%ක් පමණ ලන්ෂීට් වේ. වරක් පමණක් භාවිතා කර ඉවත ලන පොලිතීන් හා ප්ලාස්ටික් වලට තිත තැබීමේ කාලය එලඹ ඇති අතර කැළි කසල සම්බන්ධව මෙයිට වඩා පැහැදිලි ප්‍රතිපත්තියක් පළාත් පාලන ආයතන අනුගමනය කල යුතු අතර ඔවුන් වගකීමෙන් ක්‍රියාකල යුතුය.

පරිසර යුක්ති කේන්ද්‍රය කීප අවස්ථාවකදීම මෙම කැළි කසල බැහැර කිරීමේ ස්ථානය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන දැනුවත් කලද එයට නිසි විසදුමක් සැලසීමට ඔවුන් අපොහොසත් විය. විශේෂයෙන්ම මෙම ස්ථානය මුතුරාජවෙල සංරක්ෂිත බිමෙහි උතුරු ප්‍රදේශයට වන්නට පිහිටා ඇති අතර කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයකි. මෙම ගින්න නිසා කඩොලාන පද්ධතියට දැඩි හානි සිදුවී නොමැත. නමුත් මෙම කසල අංගනය දිගින් දිගටම පැවතුනහොත් කඩොලාන පද්ධතියට හානි සිදුවීම වැලැක්විය නොහැක.

මෙම කසල අංගනයෙහි ගින්න ස්වභාවිකවම ඇති වූවාක් නොව කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ප්‍රදේශවාසීන් පවසයි. කෙසේ නමුත් සංරක්ෂිත භූමියකට කැලිකසල බැහැර කිරීම වරදක් වන අතර කැලි කසල ගැටලුව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති කමේ අඩුපාඩුව මෙමගින් පැහැදිලි වේ. එමනිසා මෙම ස්ථානයට කැලිකසල බැහැර කිරීම නවත්වා ඒ සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.

පරිසර යුක්ති කේන්ද්‍රය