මුතුරාජවෙල තෙත් බිම වන ජීවියෙන් නාගරික සංවර්ධන අධිකාරියට

0
671


කලින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වූ අගනුවරට ආසන්න ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිමක් වන මුතුරාජවෙල හෙක්ටයාර 5839.4646 ක ඉඩම් කොටස් සංරක්ෂණය තිරසාර භාවිතය හා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සඳහා බව සඳහන් කරමින් ඔක්තෝබර් මස 07දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත.
ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1926.6012ක්, කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1974.6216ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 1424.7413ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෙක්ටයාර 8.5932ක්, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හෙක්ටයාර 504. 5932 මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත.කලින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වූ මුතුරාජවෙල අභය භූමිය ද මෙම පවරා ගැනීමේ කොටසට අයත් ය.
1980 අංක 2 දරණ නාගරික සංවර්ධන ව්‍යාපෘති (විශේෂ විධිවිධාන)පනතේ 2 වගන්තිය අනුව ජනාධිපතිවරයා ට පැවරී ඇති බලතල ප්‍රකාරව මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩම් කොටස් අනවසරයෙන් පිරවීම හා අල්ලාගැනීම වලකාලමින් මුතුරාජවෙල පරිසර සංවේදී කලාපය සංරක්ෂණය තිරසාර භාවිතය හා තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීම සදහා අදාළ පවරා ගැනීම සිදු කරන බව පිටු 70 වකින් සමන්විත අති විශේෂ ගැසට් පත්‍රයේ සටහන් කර තිබේ.නමුදු මෙම පවරා ගැනීම මඟින් මෙතෙක් විවිධ පාර්ශවයන් විසින් සැලසුම් කොට තිබූ පරිසර සංහාරයන්ට නිල වලංගු භාවයක් ලැබෙන බව පෙන්වා දෙන පරිසරවේදීහු ඉහත සඳහන් පනත යටතේ “තිරසාර භාවිතය” යන වදනට අනුව මුතුරාජවෙල විවිධ ව්‍යාපෘති පෞද්ගලික ආයෝජකයන්ට ලබා දීමට අවකාශ ලැබෙන බව ද කියති.

තිලක් සේනාසිංහ