“රාජ යන විරුදාවලී නාමය හිමිකරගත් ප්‍රධාන පාරිසරික පද්ධතීන් දෙකක් අපේ රටේ ඇත. ඉන් පළමුවැන්න යුනෙස්කෝව මගින් ලෝක ස්වභාවික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ලොව සුප්‍රකට නිවර්තන කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ වනයයි. දෙවැන්න වනුයේ 1989 වසරේ සිට ආසියානු තෙත්බිම් නාමාවලියේ පවා නම රඳවාගෙන හිඳින ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තෙත්බිමක් වන මුතුරාජවෙලය.
වර්තමානයේ මුතුරාජවෙල ලෙස හැඳින්වෙනුයේ වත්තල සහ ජාඇල ප්‍රාදේශීය ලේකම් සීමාවන් තුළ පිහිටි මානව ජනාවාසද සහිත තෙත්බිම් පාරිසරික පද්ධතියකි. කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ දකුණු පසට වන්නට වත්තල සිට සීදුව දක්වා වන මානව ජනාවාස ද සහිත අක්කර හත්දහස් පන්සිය අසූවක භූමි භාගයක් ඊට අයත් වෙයි. අද තත්ත්වය එසේ වුවද නිසැක වශයෙන්ම එය මීට සියවස් කිහිපයක් දක්වා වී වගාව පිණිස යොදා ගැනුණු සශ්‍රික කුඹුරු යායකි. එහෙත් එහි වපසරිය වර්තමාන භූමි ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වන බව බැලූ බැල්මට පෙනෙයි. වර්තමානයේ මුතුරාජවෙල වශයෙන් නොහඳුන්වන හැඳල, හේකිත්ත, වත්තල ගොංගිතොට, හුනුපිටිය, එ¾ෙඩ්රමුල්ල ආදී ප්‍රදේශයත් දැලතුර, තුඩැල්ල දඬුගම ආදී ප්‍රදේශත් අතීත මුතුරාජවෙල වශයෙන් හැඳින්වුණු බවට සාක්ෂි තිබේ. ඒ අනුව අතීත මුතුරාජවෙල මුලු භූමි ප්‍රමාණය අක්කර පහළොස්දහසකට පමණ වෙතැයි අනුමාන කළ හැක. වත්මන් මුතුරාජවෙලට අයත් නොවුවද එ¾ෙඩ්රමුල්ල යනු අතීත මුතුරාජවෙල ගවපාලකයන් විසූ ගම්රයක් බව නිසැකය. වත්මන් මුතුරාජවෙල සීමාවට අයත් පට්ටියගම අතීතයේ ගවපාලනය හා සම්බන්ධ ප්‍රකට ගම්වරයකි. කොළඹ සිට මහනුවර, දෙසට විහිදෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ එ¾ෙඩ්රමුල්ල හරහා වැටී ගත් හුනුපිටියේ සිට රාගම දක්වා කොටස නිර්මාණය කොට ඇත්තේ දෙපසට විහිදෙන සුවිසල් තෙත් බිමක් මැදි කරගත් යෝධ පස්පිරවුමක් මතිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය අනතුරද මෙම තෙත්බිම මත දුම්රිය මාර්ගය තැනු මුල්ම අවධියේ සිදු වූ බව ඉතිහාසය කියයි. ඒ එම දුම්රිය මාර්ගයේ කැණීම්, කටයුතු සඳහා යොදාගත් සේවා දුම්රියක් හුනුපිටිය දෙස සිට රාගම දෙසට පිටුපසට ධාවනය කෙරෙන අතරේ දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත ලෙස නතර කොට තිබූ ඩක්කුවක ගැටීමෙනි. එම අනතුරින් එම සේවා දුම්රියේ ගැල් සහ මැදිරි දාහතරක්ම එකිනෙක ගැටීමෙන් තෙත් බිමට පෙරැළී ඇති අතර එහි ගමන් කළ ජෝර්ජ් ඉන්ග්‍රම් නමැති ඉංග්‍රීසි ජාතික ෆෝමන්වරයා සහ කම්කරුවෝ තිස්පහක් එම ගැල්වලට යට වීමෙන් හා වගුරේ එරීමෙන් මිය ගියහ. 1865 වසරේ පෙබරවාරි 14 සිකුරාදා සිදුවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය අනතුර වූ මෙය ගොංගිතොට ඛිෙදවාචකය වශයෙන් එකල ජන හදවත් කම්පා කිරීමට සමත් වූ බව ඉතිහාසයේ සඳහන්ය. එහෙත් ඊට පසුව එම ප්‍රදේශය පුරා ඇතිවූ ශීඝ්‍ර ජන සංක්‍රමණය නිසා එම තෙත් බිම් කොටස් නූතන මුතුරාජවෙලින් ‘ගැලවී’ වෙන්වී ගොස් තිබේ.
මුතුරාජවෙල සම්බන්ධ ජන ප්‍රවාද පිළිබඳව විමසීමේදී අතීත කැලණි රාජධානියේ රජකම් කළ කැලණිතිස්ස රජතුමා නොකළ වරදකට රහත් තෙර නමක් උණුතෙල් කටාරමක ගිල්වා ඝාතනය කරවීම සම්බන්ධ පුරාවෘත්තයට මුල් තැනක් හිමිවෙයි. රජු කළ ඒ වරදට දෙවියන් කෝප වී මුහුද ගොඩ ගැලූ බවත් ඊට වන්දි වශයෙන් රජුට තම දියණිය වූ විහාරමහදේවිය මුහුදට බිලි දෙන්නට සිදු වූ බවත් කවුරුත් දන්නා කතාවකි.
මුතුරාජවෙල යනු එසේ කැලණි රාජධානියට මුහුද ගැලීමෙන් යටවූ ප්‍රදේශයක් බවට ද ජනවිශ්වාසයක් තිබේ. ඉන්පසුව රජතුමා ඇතුපිට නැගී එම මුහුද ගැලීම බැලීමට යන අතරේ විශාල ජල කඳකින් ඇතු සමගම රජතුමා ද නරකය වෙත ඇදී ගිය බවක් රාජාවලිය කියයි.
මෙම පුරාවෘත්තය සත්‍යයක් නම් එය සිදුවූයේ ද මුතුරාජවෙල සීමාවේම බවට ප්‍රබල සාක්ෂියක් කෝට්ටේ යුගයේ රචිත කෝකිල සංදේශයෙන් ලැබේ. එහි 117ක පද්‍යයෙන් එම පුරාණොක්තිය සිහි කරන කෝකිල සංදේශ කතුවරයා එම ස්ථානය ‘ඇතුබුන්වල’ ලෙසින් එම පද්‍යයට ඇතුළු කොට තිබේ. දෙවුන්දර සිට යාපා පටුන දක්වා ගමන් කරන කේකිලයාට සංදේශය මගින් කතුවරයා දක්වන විස්තරය අනුව මෙම ඇතුබුන්වල නම් ස්ථානය පිහිටා ඇත්තේ වත්තල සහ රිලවුල්ල (කඳාන) අතරය. ඒ බව අපට තහවුරු වනුයේ කෝකිල සංදේශයේ 170 වන පද්‍යයෙන් වත්තල පිළිබඳව සඳහන් කරන කතුවරයා එහි 171 පද්‍යයෙන් ඇතැබුන්වල පිළිබඳව සඳහන් කොට ඉනික්බිතිව 172, 173 යන පද්‍යයන්ගෙන් රිලවුල්ල සහ වැලිගම්පිටිය (ජාඇල) යන ප්‍රදේශ පිළිබඳව ඒ නම්වලින්ම සඳහන් කරන බැවිනි.
කොළඹ, මීගමුව ප්‍රධාන මාර්ගය අද්දර ඇති මෙම ප්‍රදේශ අද ද එනමින්ම හඳුන්වනු ලැබේ. එමෙන්ම මෙම ඇතුබුන්වල සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු ප්‍රවීණ පුරාවිද්‍යා සරත් වත්තල මහතා පවසනුයේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ අදත් දක්නට ලැබෙන ‘ඇතා එරුණුවල නමින් හැඳින්වෙන ස්ථානය මෙම ඇතුබුන්වල ලෙස අනුමාන කළ හැකි බවය. ඒ අනුව විහාරමහ දේවියගේ පුරාවෘත්තය හා සම්බන්ධ මෙම භූමිය මතු පරපුරේ අවධානය පිණිස වත්මන් සමාජ කරළියේ එලිපහළියට ගත යුතු යැයි මට සිතේ.
මුතුරාජවෙල භූ ඉතිහාසයේ ආදී යුගයක මුහුද මට්ටම දක්වා පහළට කිඳා බසින ලද තරමක උස් බිමක් යැයි විද්‍යාඥයෝ මත පළ කරති. මුතුරාජවෙල වගුරු බිම මධ්‍යයේ තිබි තවමත් ඉතා පැරණි සුවිසල් ගස්වල මුල් කොටස් දක්නට ලැබිම ඊට ප්‍රධාන හේතුවකි. මේවා ‘පතුරම් කොවුල්’ යනුවෙන් හඳුන්වන පැරණි මුතුරාජවෙල ගැමියෝ මේවා පළා වියළා ආහාර පිසීම පිණිස දර වශයෙන් යොදා ගත්හ. එමෙන්ම භූ ඉතිහාසයේ ආදීතම යුගයක මිහි තුළ සැඟවුණු ශාක කොටස් ජීර්ණක (Peat) නිසා වශයෙන් අදත් මුතුරාජවෙල පසෙහි දක්නට ලැබිම මෙම භූමිය අති පෞරාණික මහා වන ගැබක් සේ සැලකිය හැකි දෙවන හේතුවය. ජීර්ණක යනු ගල් අඟුරුවල ප්‍රාථමික අවස්ථාවය.
අතීත මුතුරාජවෙල වෙල්යාය කෙතරම් සශ්‍රීකව පැවැතිය ද එය හරිහැටි අස්වැද්දීමෙන් මුළුරටටම බත සැපයිය හැකිව තිබූ බව අදත් එම ප්‍රදේශවල ගැමියෝ කියති. මුතුවන් සහල් ලද හැකි රාජකීය වෙල් යාය මුතුරාජවෙල බව ඒ සම්බන්ධ පොදු මතයයි. එහෙත් අතීතයේ මුත්තු රාජ් නම් වාරි ඉංජිනේරුවකුගේ සැලසුමකට අනුව සංවර්ධනය වූ බැවින් එය මුතුරාජවෙල යනුවෙන් හැඳින්වුණු බවක් ද කියනු ලැබේ. එහෙත් එවැනි නමක් සහිත වාරි ඉංජිනේරුවකු පිළිබඳ තොරතුරක් සහිත මූලාශ්‍රයක් සොයා ගන්නට මට නොහැකි විය. ඒ කෙසේ හෝ පහළොස්වන සියවසේ කෝට්ටේ යුගය දක්වා අතිශය සශ්‍රීකව පැවැති මෙම වෙල්යාය පසුව ඕලන්ද සහ ඉංග්‍රීසි යුගවලදී මෙම වෙල්යාය ආශ්‍රිතව කපන ලද ඇලමාර්ග නිසා කමෛන් නිසරු වූ බව පොදු මතයකි. ඒ එම ඇල මාර්ගවලින් මුතුරාජවෙලට කරදිය එක් වීම නිසාය. ඉන්පසුව එම කරදිය ඉවත් කිරීම සඳහා නෝනාගේ ඇල, මුදියන්සේගෙ ඇල ආදී වශයෙන් ගැමියන් විසින් හඳුන්වනු ලබන වෙනම ඇලවල් පසුකාලීනව කැපීම අමුණු බැඳීම ආදිය සිදු කළත් ඒ කිසිවකින් කිසිදු පළක් සිදුවී නැත. මගේ වැටහීම අනුව එක්දහස් නවසිය හැත්තෑවේ දශකයේ අගභාගයත් සමග මුතුරාජවෙල වී වගාවට මළබෙර වැයී දැන් දශක දෙකක පමණ සිට එය මුලුමනින්ම සොහොන්ගත වී තිබේ. ඒ කෙසේ හෝ මීට වසර විස්සකට පමණ මුතුරාජවෙල ආශ්‍රිත ගම්මාන කිහිපයක සංචාරය කළ මට ඒවායේ නිවෙස්වල තිබූ භාවිතයට නොගන්නා සාම්ප්‍රදායික ගොවි උපකරණ රාශියක් දැක ගත හැකි විය.
එහෙත් අගනුවරට තදාසන්නව තිබිම නිසා කාර්මිකකරණයට සහ මානව ජනාවාසවලට ඇති ඉඩකඩ අහිමි වීම මත දැනට දශක තුන හතරක කාලය තුළ මෙම ස්වභාවික තෙත්බිම් පාරිසරික පද්ධතිය නොවිධිමත් මානව ක්‍රියාකාරකම්වල ප්‍රධානතම ගොදුරු බිමක් බවට පත්වෙමින් තිබේ. මෙවන් තෙත්බිමක ඇති පාරිසරික සහ ජෙවමය අගය මෙරට දේශපාලනඥයන් ඇතුළු නූතන සමාජයෙන් සියයට දශමයකට වත් නොවැටහී තිබිම ඊට ප්‍රධාන හේතුවය. එහෙත් 1989 වසරේ ආසියානු තෙත්බිම් නාමාවලියට අයත් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන තෙත්බිම් හතළිස් එකට මුතුරාජවෙල ද ඇතුළු කෙරුණු අතර අතීතයේ මුතුරාජවෙලට හිමිව තිබූ අක්කර පහළොස්දහසකට ආසන්න වපසරියෙන් සියයට ප්‍රමාණයක් නැතහොත් අක්කර දෙදහස්පන්සිය හතළිස් දෙකක් හෙවත් හෙක්ටයාර් 1029 ප්‍රමාණයක් වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතට යටත්ව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ 1996 ඔක්තෝබර් 31 දිනැති අංක 947/13 දරණ ගැසට් නිවේදනය මගිනි. ප්‍රධාන වශයෙන් කඩොලාන සහ ඒ ආශ්‍රිත ශාඛවලින් සැදුම්ලත් මෙම අනගි පාරිසරික පද්ධතිය තුළ කරදිය, මිරිදිය සහ කලපු ආශ්‍රිත ඉතා වටිනා සත්ව සහ ශාක ප්‍රජාවක් දැකිය හැකිවීම විශේෂත්වයකි. දැනට අනාවරණය වී ඇති අන්දමට ක්ෂීරපායින්. පක්ෂීන්, උරගයන්, උභයජීවීන්, මසුන් සහ අපෘෂ්ඨවංශීන් යන සත්ව කාණ්ඩවල අයත් ජීවීන් විශේෂ හාරසිය හතළිස් නවයක් මෙහි ජීවත්වෙති. ඒ අතරින් විශේෂ විස්සක් පමණ ශ්‍රී ලංකාවට ආවේණිකය. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ නේවාසික පක්ෂි විශේෂ අසූහයක් සහ සැප්තැම්බර් මාර්තු අතර තුළදී සංචාරක පක්ෂීන් විශේෂ අනූ තුනක් මෙහි දී දැක ගත හැකිය. මීට අමතර මීගමු මුහුද ධීවර කර්මාන්තය සඳහා මෙතරම් ප්‍රසිද්ධවීමට බලපාන තිඹිරිගෙය මුතුරාජවෙල තෙත්බිම තුළ ඇති කඩොලාන පද්ධතිය බව මේ වනවිට මනාව තහවුරු වී තිබේ. එමෙන්ම දැනට ආරක්ෂිතව පවත්නා මෙම තෙත්බිම තුළ කැළණි ගඟ, අත්තනගලු ඔය, දඬුගම් ඔය, සහ ජා ඇල යන ජල මූලාශ්‍රවලින් ලැබෙන සහ වර්ෂාවෙන් ලැබෙන ජල ලීටර් මිලියන, බිලියන ගණනක් තැන්පත් වී ඇති අතර නියං සමයේ දී ඒවා මදින් මඳ මිහිතලයට මුදාහැරීම බොහෝ දෙනෙකුට නොවැටහෙන අති උතුම් පාරිසරික රහසකි. එමෙන්ම හාත්පස ප්‍රදේශ රාශියක පරිසර උෂ්ණත්වය පහළ හෙළීමේ ස්වභාවික හාස්කම් බලයක්ද මෙම තෙත්බිම සතුය.
මෙම තත්ත්වය යටතේ මුතුරාජවෙල පරිසර පද්ධතිය කොටස් තුනකට බෙදා ඉන් කොටසක් ජනාවාස කලාපයක් වශයෙන් ද දෙවන කොටස ප්‍රේරක කලාපයක් වශයෙන් ද තුන්වැන්න ආරක්ෂිත කලාපයක් වශයෙන්ද නම් කළ යුතු බවට 1991 මැයි මාසයේ ඉදිරිපත් වූ මුතුරාජවෙල මහ සැලැස්ම අද වන විට කුණු බක්කියකින් වත් හොයා ගත නොහැකි ලෙස යටපත්ව ගොසිනි. එමෙන්ම මෙම ලියන මොහොතේ පවා පරිසර සංහාරකයන් විසින් සිදුකරනු ලබන ඉවක් බවක් නොමැති අනවසර ගොඩකිරීම් නිසා ඊළඟට එළැඹෙන සුළු ගංවතුර තත්ත්වයකදී මුතුරාජවෙල පදිංචිකරුවන්ට බරපතළ හානියක් සිදුවීමට ඇති අවදානම කෙසේවත් අවතක්සේරු කළ නොහැක. එමෙන්ම කොළඹ නගරය අවට ගම්පහ දිස්ත්‍රික්කයන් තුළ පවත්නා නිරතුරු සදාහරිත බවේ නිහඬ රහස වන මෙම මාහැඟි තෙත් බිම් පද්ධතිය ගොඩ කිරීම ඔස්සේ කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය මුල්කොට ගත් ශුෂ්ක කලාපයක් දැක බලා ගැනීමේ අවාසනාව අනාගත පරපුරට උදා වීමද කෙසේවත් වැළකිය නොහැකිමය.
මුතුරාජවෙල අද වෙන්නේ මොකක්ද?
මුතුරාජවෙල තෙත්බිමට අයත් ඉඩම් විවිධ දේශපාලන බලවතුන් හා ධනවතුන් විසින් නීති විරෝධී ආකාරයෙන් ගොඩකර සංවර්ධනය කිරීම මෙම තෙත්බිමට ඇති ප්‍රධානතම තර්ජනයකි. මුතුරාජවල අභය භූමියට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් නීතිමය ආවරණය ලැබි තිබුණත් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාර්යාල, නිලධාරීන් ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් තරම් සැපයීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නැත. ඉන් බැහැරව ඇති සංවේදී තෙත්බිම් පරිසර පද්ධති රැසක් තවදුරටත් කිසිදු ආරක්ෂාවක් නොමැතිව පවතී. ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත ආදී අණ පනත්වලින් මෙවැනි තෙත්බිම් විනාශයන් පිටු දැකීම සඳහා නීතිමය ප්‍රතිපාදන ලැබි තිබේ. එසේ තිබියදීත් මෑතක සිට මුතුරාජවෙල අභයභූමිය සමීපයේ සිදුකරන මහා පරිමාණ ගොඩ කිරීමක් මතින් බරපතළ ගැටලු රැසක් ඉදිරියේදී ඇතිවීමේ අවධානමක් නිර්මාණය වෙමින් පවතී. මෙම ගොඩ කිරීම් කරන ඉඩම අභයභූමියෙන් බැහැරව පිහිටා තිබුණද එය ඉටු කරනුයේ වගුරු බිමක කාර්යභාරයයි. කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසාද තර්ජනයට ලක්ව ඇති මුතුරාජවෙලට එහි පූර්ව රක්ෂිත කලාපය සමීපයේ සිදුවන මේ ගොඩ කිරීම දැඩිහානි ගෙන එනු ඇත. ඉදිරියේදී මීගමුව කොළඹ මාර්ගයට දැඩි ගංවතුර අවදානමක් පවා ඇති කිරීමට එය සමත් විය හැක.
එබැවින් මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පහත් බිම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය වැනි මහජන මුදලෙන් නඩත්තු වන ආයතන මෙවැනි විනාශයන් වැළැක්වීමට මැදිහත් විය යුතුයි. මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කර අනාගත පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන්ට සැබෑ වුවමනාවක් ඇත්නම් ඔවුන් සිදුකළ යුත්තේ දැනට මුතුරාජවෙල අභයභූමිය ලෙස ප්‍රකාශය පත්කර ඇති කොටස සහ ඉන් බැහැරව ඇති පරිසර සංවේදී කලාප සියල්ල පැහැදිලිව මායිම් සලකුණු කර වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමයි.
සමන්ත පියල් රේණුකගේ මුහුණු පොතෙනි.