මුහුදු මගින් රට යන බවට සැකයට උතුරු නැගෙනහිර 24ක් අල්ලයි

0
212

අනවසරයෙන් මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සුදානම් වන බවට ඇති වු සැකයක් මත ශ්‍රී ලාංකිකයන්  විසි හතර දෙනකු  නාවික හමුදා භාරයට ගෙන තිබේ.   ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ මාර්තු 11 බ්‍රහස්පතින්දා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයන් 24 දෙනකු නාවික හමුදා භාරයට ගත් බවයි.  

වයඹ නාවික විධානය මඟින් සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ කල්පිටිය කළපුවට ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් තුළ  සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් පිරිසක් නිරීක්‍ෂණය කර සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී, එම ලොරි රථයේ රියදුරු සමඟ පුද්ගලයන් 24ක් රැදී සිටින බව අනාවරණය වී තිබේ.  

ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් කල්පිටිය කළපුව ඔස්සේ යාත්‍රාවක් පැමිණෙනතෙක් එලෙස රැදී සිටින බවට අනාවරණය වූ බැවින්, එම පුද්ගලයන් පිරිස සහ ලොරි රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් පවසයි.   නාවික හමුදා භාරයට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් විස්සක්, එක් කාන්තාවක්, කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි ළමයෙකු වේ.  

    ඔවුන් අතුරින් නම දෙනෙකු මඩකළපුව ප්‍රදේශයේද, හය දෙනෙකු යාපනය ප්‍රදේශයේද, පස්  දෙනෙකු මුලතිව් ප්‍රදේශයේද, තිදෙනෙකු  ත්‍රිකුණාමලය ප්‍රදේශයේද වන අතර ලොරි රථයේ රියදුරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද හඳුනා ගන්නා ගෙන තිබේ.  

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ මෙම නීති විරෝධී මිනිස් ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයාද මෙම පිරිස අතර සිටින බවට සැක කරන බවයි.   නාවික හමුදා භාරයට ගත්  පිරිස සහ ඔවුන් පැමිණි ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.  
(සේයා – ශ්‍රී ලංකා නාවික හමුදාව)