අපේ මාතෘභූමිය හෝ එක් එක් ප්‍රදේශ කිසිවෙකුටත් අයිති බවට තහවුරු කෙරෙන කිසිඳු ඔප්පුවක් ලියැවී නොමැති බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කරති. කිසිඳු තැනෙක එවැනි ඔප්පුවක් ලියැවී නොමැති බව පෙන්වාදෙන උන් වහන්සේ මේ රට හෝ එක් එක් ප්‍රදේශ තමන්ට පමණක් අයිති බව සිතීම වැරැදි සහගත බවද පසුගිය කාලයේ පැවැති යුද්ධයෙන් උතුරේ ජනතාව පමණක් නොව දකුණේ ජනතාව ද පීඩා විදි බවද පෙන්වා දුන්හ.
ඒ අඳුරු අතීතය යළි ඇති කළහැකි ආකල්පවල නොසිට නිදහස් ලෙස සිතමින් පොදුවේ මනුෂ්‍යයන් වශයෙන් අපේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන කාදිනල් හිමිපාණෝ සිංහලේ නොව එකම ලේ යන තේමාව තුළ එකතු වියයුතු කාලය එළඹ තිබෙන බවද සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් හෝ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ආදී වශයෙන් වෙන් වෙන්ව කටයුතු කළ කාලයට සඳහටම ආයුබෝවන් කිවයුතු කාලය එළඹ තිබෙන බවද පවසති.
අගරදගුරු හිමියන් මේ බව සදහන් කෙළේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවෙසේ දී පෙරේදා (11) පැවැති උත්සවයක් අමතමිනි. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට වසර 150ක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධානය කෙරුණු අතර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පසුගිය 2015 වසරේ ජනවාරි මස 8දා සුවිශේෂී සමාජ පරිවර්ථනයකට මුලපුරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණි බවත් විවිධත්වයක් ඇතිකරමින් සහ ප්රජාතන්ත්රවාදය අගයමින් රට ගොඩනඟන්නට ඒ මහතා කටයුතුකර තිබෙන බවත්ය. බහුතර සමාජයේ මෙන්ම සුළුතර සමාජයේ පිරිස්වලට අවශ්‍ය ඒකීය රටක් නිර්මාණය කරන්නට හැකිවී තිබෙන බවද උන් වහන්සේ පෙන්වා දුන්හ.
ජාතිය හා ආගම මත පදනම් වූ දේශපාලන පක්ෂ හා ඇතැම් අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවද එවැනි පක්ෂ හෝ සංවිධාන කටයුතු කරන්නේ නම් අප එකමුතු කරන දේට නොව අප බෙදන සේ උළුප්පා පෙන්වීමට උත්සාහ කරන බවද සදහන් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ හේතුවෙන් එම පක්ෂ හා අන්තවාදී කොටස් තහනම් කිරීම දීර්ඝ කාලීන අවශ්‍යතාවක් බවද පැවසූහ.
බහුතර ජනතාවගේ මෙන්ම සුළුතර ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයට රජය පියවර ගෙන තිබෙන අතර එමඟින් නීතියේ ආධිපත්‍යය, විනිවිඳභාවය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉහළට පැමිණීමේ හැකියාව ලැබෙනු ඇති බවද ඒ වෙනුවෙන් කතෝලික සභාවේ පූර්ණ සහාය ලබාදෙන බවද උන් වහන්සේ සදහන් කළහ.
ඇතැම් සමාජ මාධ්‍ය පටු ලාභ අපේක්ෂාවෙන් සිදුකරන ක්‍රියාවන් නතර කිරීම රජයේ වගකීමක් බවද ඇතැමුන් දරණ ප්රයත්නය නවතාළීම වෙනුවෙන් නීති සැකසිය යුතු බවද අගරදගුරු හිමියෝ පෙන්වා දුන්හ.මෙහිදි ආරාධිත දෙසුම ප්‍රවීණ මාධ්‍යවේදී සිළුමිණ පුවත්පතේ උපදේශක කතුවර තිලකරත්න කුරුවිටබණ්ඩාර මහතා විසින් සිදු කරන ලදි. ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාද උත්සවය ඇමතීය.සංවත්සරය වෙනුවෙන් පැවැත්වූතරග හා පාඨමාලාවන්ට එක් වූ වන්ට තිලිණ ප්රදානය දහිටපු කතුවරුන්ට සමරු තිලිණ ප්‍රදානයද සිදුකෙරුණු අතර උළෙල රංගනයෙන් වර්ණවත් විය.
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් පියරේ න්ගුවෙන් වැට් ටොට් හිමිපාණන්, හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණන්, ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, මුදල් ඇමැති රවී කරුණානායක, තැපැල් ඇමැති අබ්දුල් හලීම්, නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී පුනාන්දුපුල්ලේ, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික පුනාන්දු, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
www.dinamina.lk