
(11.30 am ) මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන කෙනෙක්ට මේ තත්වයෙන් පීඩා විදින්නනම් වෙනවමයි. ඒ නිසාම අපි මෙවැනි අධික හිරු රෂ්මිය සහිත දේශගුණික තත්වයන් වලදී පරිස්සම් විය යුත්තේ කොහොමද කියල දැනගෙන ඉන්න ඕන. ඒ ගැන තමා මේ ලිපිය වෙන්වෙන්නේ.
අධික රස්නය ගැන කතා කරද්දි සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් තමන්ගේ සෞඛ්‍ය තත්වය හොදින් පවත්වාගැනීම සම්බන්දයෙන් කටයුතු කල යුතුයි. මෙන්ම ඒ සදහා ඊට වඩා වැඩි අවදානයක් යොමුකරන්න වකුගඩු රොගීන්ට, වකුගඩු බද්ධ කල අයට හා මේ වනවිට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්න අයට සිදුවෙනවා.මොකද ඒ අය තමන්ගේ සිරුරේ තියන තරල ප්‍රමාණය නිසි පරිදි පවත්වාගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කල යුතුමයි.
වකුගඩු රොගීන්,වකුගඩු බද්ධ කල පුද්ගලයන් හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් මේ අධික හිරු රෂ්මියෙන් පරිස්සම් වියයුත්තේ ඇයි..
- වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයන් හේතුවෙන් රෝහල්ගතවීම් වල 30%ක වැඩිවීමක් මෙවැනි අධික හිරු රෂ්මිය ඇති කාලයන් වලදී සිදුවන බව සමීක්ෂණ වලින් හෙලිවී තිබීම.
- වකුගඩු බද්ධ කල පුද්ගලයන්ට සම ආශ්‍රිත පිළිකා තත්වයන් ඇතිවීමේ වැඩි අවධානමක් පැවතීම.
අධික හිරු රෂ්මිය හෙතුවෙන් දහදිය දැමීම වැඩිවීම නිසා,දහදිය විදියට අපේ ශරීරයෙන් “තරල” ඉවත්වීම සිදුවෙනවා.මෙවැනි අවස්ථාවකදී අපට තිබහ දැනීම වැඩිවන අතර එහිදී අපි ලබාගන්නා ජලය ඇතුළු වෙනත් පාන වර්ග හරහා නැවතත් දහදිය ලෙස ශරීරයෙන් ඉවත් වූ තරල ප්‍රමාණය සිරුරට එකතු කරගැනීම සිදුවෙනවා.
ඒ වගේම වකුගඩු මගින් මුත්‍රා වශයෙන් ශරීරයෙන් ඉවත්වීමට පෙර ජලය නැවතත් ප්‍රතිශෝෂනය කිරීම මගිනුත් සිරුරේ තරල අවශ්‍යතාවය සමතුලිත කිරීමට කටයුතු කරනවා,ඒ ක්‍රියාවලියෙන් තමයි අධිකව දහදිය දමන විට අපේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩිවීම සිදුවෙන්නේ.
මේ විදියට සිද්ධවෙන්නනම් වකුගඩුවල ක්‍රියාකාරිත්වය හොදින් තියෙන්න ඕන.. ඒ නිසා වකුගඩු රෝගී තත්වයක් ඇති අය, වකුගඩු බද්ධකිරීමක් සිදුකර ඇති අය හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා අය සිරුරේ තරල ප්‍රමානය නියමිත පරිදි පවත්වාගැනීම ගැන අමතර අවදානයක් යොමුකල යුතුයි.
එමෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගී තත්වයක් ඇති පුද්ගලයන්ට එම තත්වය හේතුවෙන් සිරුරේ තරල එක්රැස්වීම සිදුවනවා.. උදාහරණයක් වශයෙන් විලුඹ වගේ තැන් ඉදිමී තරල එක්රුස්වී තිබීව වකුගඩු රෝගීන්ගේ සුලභ තත්වයක්.. එමෙන්ම සමහර රෝගීන් මුත්‍රා වැඩියෙන් පහවීමට සදහා උදව් කරන ඖෂධ ලබාගන්නා අවස්ථාත් තියෙනවා. ඒ හේතුවෙන් වකුගඩු රෝගීන් අනවාර්්‍යයෙන්ම ශරීරයේ තරල ප්‍රමාණය පාලනය කිරීම ගැන වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතුමයි.

අධික උෂ්ණත්වයත් එක්ක විජලනයෙක් ආරක්ෂා වීමට කල යුත්තේ කුමක්ද?
- දවස තුල හිරු රෂ්මිය වැඩිම වේලාව තුල එළිමහනේ ගැවසීමෙන් වලකින්න ( උදා; දහවල් 12 – 3ත් අතර )
- දහදිය දමන,වෙහෙසවන ක්‍රියකාරකම් කිරීමෙන් වලකින්න
- විජලන තත්වයේ ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න ( අධික තිබහ,තොල් වියලීම,මහන්සිය,කරකැවිල්ල,සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවීමවැනි ලක්ෂණ ගැන සලකිලිමත් වෙන්න)
වකුගඩු රෝගීන්ට හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්න පුද්ගලයන්ට මෙම තත්වය බලපාන ආකාරය..
වකුගඩු රෝගී තත්වයේ අවසන් අදියරයේ හා ඩයලයිස් ප්‍රතිකාරය ලබාගන්නා අවධියේ සිටින රෝගීන් ශරීරයේ ඇති තරල ( ජල ) මට්ටම ගැන වැඩි අවදානයක් යොමුකල යුතුයි. ඊට හේතු වන්නේ ඔවුන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ඉතාමත් අඩු බැවින් ඔවුන්ගේ සිරුරේ එකතු වන ජලය මුත්‍රා මගින් ශරීරයෙන් ඉවත්වීම සිදුනොවන බැවින් ශරීරයේ එක්රැස්වීම සිදුවීමයි.ඒ නිසාම ඔවුන්ගේ වෛද්‍යවරුන් විසින් ඔවුන් දිනක් තුල ලබාගතයුතු තරල ප්‍රමාණයන් සීමා කරලයි තියන්නේ.. වැඩිපුර තරල වර්ග ඔවුන් ගබාගතහොත් අනිවාර්යයෙන්ම ඒවා ශරීරය තුල එක්රුස්වී අනතුරුදායක තත්වයක් ඇති වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා.
වකුගඩුවල ක්‍රියාකරීත්වය අවම හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නා පුද්ගලයන් දිනකට ලබාගත යුතු තරල ප්‍රමාණය මෙපමණක් යැයි නිෂ්චිත අගයක් නැහැ. ඒ ප්‍රමාණය වෛද්‍යවරුන් විසින් ඒ ඒ පුද්ගලයාගේ තත්වය මත තීරණය කිරීම තමයි සිදුවන්නේ. ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබාගන්නා තරල වර්ග ශරීරයෙ විවිධ ස්ථාන වල තැන්පත්වීම සිදුවනවා. එවිට හුස්ම ගැනීමේ අපහසුතාවයන්, මුහුණ හා විලුඹ ඉදිමීම, අධිරුධිර පීඩනය,ශරීරයේ ප්‍රාණවත්බව අඩුවීම, හදවත ඉදිමීමකට ලක්වීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
ඒනිසා රස්නය නිසා තිබහක් දැනුනත් අප ලබාගන්න ජල ප්‍රමාණය ඉතාමත් ප්‍රවේසමෙන් පාලනය කල යුතුයි.
වකුගඩු බද්ධ කල පුද්ගලයන්ට මෙම තත්වය බලපාන්නේ කොහොමද?
වකුගඩු බද්ධ කිරීමේදී වකුගඩුව දානය කරන පුද්ගලයාගෙන් ලබාගන්නා වකුගඩුවට අදාල සියලුම ස්නායු වකුගඩුව නැවතත් බද්ධ කිරීමේදී රෝගියාට බද්ධ කිරීම සිදුනොවන නිසා මෙවැනි අවස්තාවකදී ශරීරයෙන් ජලය ඉවත්වන ප්‍රමාණය පාලනය කිරීම සදහාවන සම්පුර්ණ ස්නායු පාලනය බද්ධ කල වකුගඩුවට ලැබෙන්නේ නැහැ.
ඒ හේතුවෙන් අධික උෂ්ණත්වය ඇති විටකදී වකුගඩු බද්ධ කල ඔබට වැඩියෙන් දහදිය දමන අවස්ථාවක අඩුවෙන් ජලය පානය කලහොත් ඒ හරහා ඔබගේ වකුගඩු වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීමත්,ඒ හේතුවෙන් වකුගඩුවෙන් අපද්‍රව්‍ය පෙරී යන ප්‍රමාණය අඩුවීම සිදුවී වැඩි විශද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරයේ එකතුවීම නිසා නිර්මානය වන තත්වය මත Acute Kidney Injury තත්වයක් ඇති වෙන්නත් පුළුවන්.
නැවතත් සාමාන්‍යපරිදි ජලය පානය ආරම්භකල විට මෙම තත්වය යතාතත්වයට පත්කරගන්න පුළුවන් වූවත් දිගින් දිගටම මෙම තත්වය සිරුර තුල ඇති වීමනම් දීර්ඝ කාලීනව ඔබගේ වකුගඩු වලට හොද තත්වයක්නම් නෙවෙයි.දිගින් දිගටම මෙම තත්වය ඇති වුවහොත් ඔබගේ වකගුඩු සෛල වලට ස්තීර හානියක් සිදුවෙලා වකුගඩු වල ක්‍රියාකාරීත්වය අහිමි වෙන්න පුළුවන්.
මේ සියලුම හේතු නිසා සාමාන්‍ය නිරොගී පුද්ගලයන්ට වඩා විශේෂ අවදානමක් වකුගඩු රෝගීන්, වකුගඩු බද්ධ කල පුද්ගලයන් හා ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්න පුද්ගලයන් අධික රස්නය සහාත කාලගුණ තත්වයක තමන්ගේ ශරීරයේ තුල ප්‍රමාණය පාලනය ගැන දැඩි ලෙස සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. නැතිනම් අවසානයේ ජීවිතයට තර්ජනයක් ඇතිවන තත්වයක් දක්වා මේ අවස්ථාව ගැටළුකාරී තත්වයක් වෙන එකනම් වලක්වන්න අමාරුයි.
(සටහන – මිතිලායා ගමගේ)