මෛත්‍රිගේ ඉරණම මාර්තු 01 වෙනිදට තීන්දු වෙයිද ?

0
355

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයින් පැවරූ නඩු වලින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිදහස් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ තීන්දුව මාර්තු මස පළමුවැනිදා ප‍්‍රකාශයට පත් කිරරීමට සිවිල් අභියාචන මහාධිකරණය ඊයේ  (22දා) තීරණය කළ බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පුද්ගලික තමන්ට නොව රජයට බව සඳහන් කරමින් එම නඩු වලින් තමා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කරුණු හා ඊට විරුද්ධව වින්දිතයන් වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිවිල් අභියාචනා අධිකරණය ඒ බව ප‍්‍රකාශයට පත් කළ බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරන එම් බී බී එස් මොරායස් හා ඞී. එෆ්. එච් ගුණවර්ධන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා එලෙස දින නියම කෙරිණී.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතූවෙන් සිදුවූ අගතියට හිටපු ජනපති මෙත‍්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා ඇතුළු විත්තිකරුවන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා 109 දෙනෙකු කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබිණ.

හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සිය ප‍්‍රතිපුරුෂ වගකීම පැහැර හැරීම හා රාජකාරිය පැහැර හැරිම තුළින් තමන් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින් වු බව සඳහන් කරමින් රුපියල් ලක්‍ෂ 100 සිට වන්දි අයකර දෙන්නැයි ඉල්ලා පවරා ඇති මෙම නඩු 109 න් තමන් මුදාහරින්නැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොළඹ දිසා අධිකරණයෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙරිණී.

දිසා අධිකරණයේ එම තීරණය අභියෝග කරමින් මෛත‍්‍රීපාල මහතා මෙම අභියාචන පෙත්සම් ගොනුකර තිබු අතර වන්දි ඉල්ලා පැවරූ නඩු සියල්ල විභාගයට ගැනීමකින් තොරව නිශ්ප‍්‍රභ කර තමන් එම නඩු වලින් මුදාහරින්නැයි ඔහු ඉල්ලා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කොට තිබිණී.

එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් පාස්කු ඉරුදින ප‍්‍රහාරයේ වින්දිතයින් මෙම නඩුව පවරා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකාරිත්වය පවරන්නැයි ඉල්ලීම සඳහා නොවන බවත් සිදුවු හානියය සඳහා වන්දි ඉල්ලා පමණක් බවත් පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ ජනපතිවරයාට පුද්ගලිකව නොවන බවත් එලෙස වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ රජයට බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා ව්‍යවස්ථාපිත කරුණු පදනම් කරගෙන පවරා ඇති මෙම නඩුව විභාග කළ හැක්කේ ශේෂ්ඨාධිකරණයට පමණක් බවත්  සිවිල් අධිකරණයක මෙවැනි නඩුවක් විභාගයට ගැනීම අධිකරණ බලය සම්බන්ධයෙන් ගැටලූ‍ සහගත තත්වයක් ඇති කරන බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිවිල් අධිකරණයක නඩුවක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවත් ව්‍යවස්ථාව ප‍්‍රකාරව අදාළ වගකීම ජනපති වරයාට අදාල නොවන බවත් පෙන්වා දුන් නීතිඥවරයා මෙම වන්දි නඩු ජනාධිපතිවරයාට එරෙහිව නිල වශයෙන් නොපවරා රජයට එරෙහිව පැවරූ වේ නම්  තම සේවාදායකයාගේ ජනපතිධුර කාළයේදීම නඩු පැවරීමට හැකියාව තිබූ බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධ තීන්දුව ලබන මස 01 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය”.

පෙත්සම්කාර හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.

වින්දිතයින් වෙනුවෙන් නීතිඥ සදුන් නාගහවත්ත, වරුණ සේනාධීර, චමත් ප‍්‍රනන්ඩු ඉශාන් රශීන්, ඇතුළු නීතිඥ මඩුල්ලක් සමඟ  ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා පෙනී සිටියේය.

මේ අතර සෑම මසකම 21 වෙනිදා මිගමුව පුරවැසි කමිටුව විසින් සිය විරෝධතාවය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටිති.