මොණර මස් පිළිබඳ සංවේග සටහන් සහ ගමේ කතන්දර

0
1086

වෙන්නප්පුව බොරලැස්ස කිරාගාර ප්‍රදේශයේ අයෙකු ඉකුත් ජුනි මාසයේදි මොණරෙකු මරා තුවක්කුවක් සමග පෙනි සිටින ජායාරූපයක් අන්තර්ජාලයේ පළවීම සම්බන්ධයෙන් වනජීවි දේපාර්තමේන්තුව හා ෆිඩම් ලංකා පදනම පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා අදාළ තැනත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
ඉහත සිදුවීම හා බැදුණ ප්‍රවෘත්තීන් පිළිබඳ තවමත් නිවරදිම හා සත්‍ය වාර්තා අප සතුව නොමැති වුවත් මෙම මොණරා සම්බන්ධයෙන් වූ සිදුවීම හරහා සත්ව හිංසාව පිළිබඳව සමාජය තුළ යම් සංවාදයක් ඇතිවීමත්  සත්ව හිංසනය සම්බන්ධයෙන් තවමත් තමන්ගේ හෘද සාක්ෂිය විවර නොවූ බහුතරයක් සිටින සමාජයකට වඩා යෝග්‍යයය.
මුලින්ම සිය ෆේස් බුක් පිටුවේ  ඔහු මෙම මෙම ඡායාරූපය පළ කර කර තිබූණී. පසුව ඒ පිළිබඳව යම් සංවාදයක්ද ඇති විය. මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියේද අදහස් පළ කරන ලදී.
මේ සිදුවීම නැවතත් කරළියට පැමිණ තිබේ. මේ වනවිට ඒ සම්බන්ධයෙන් ඇතිවී ඇති පරීක්ෂණයක් හේතුවෙන් දැන්   චෝදනාවට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඔවුන්ගේ නිවරදිභාවය වෙනුවෙන් කළ ප්‍රකාශයක් ද දැන් පිටවී තිබේ. ඊට විරුද්ධව ද සාක්ෂි ඉදිරිපත් වී තිබේ.
මනුස්ස හිංසාව සම්බන්ධයෙන් කප් ගසා සිටින අප වැනි රටක සත්ව හිංසනය පිළිබඳ ක්ෂුද්‍ර මාතෘකාවක් වෙත එළඹීමේදී යම් ජුගුප්සාකාරී හැඟීමක් ඇතිවීම වැලකිය නොහැකි වුවද මාගේ අදහස නම් පමාවී හෝ මේ සංවාද ආරම්භ වීම අපට හෝ අපේ දරුවන්ගේ අනාගතයට සුබ කටයුත්තක් බවයි. රටක් ලෙස තිස් වසක යුද්ධයකුත් පසුවී ,  කෙලවරක් නැති ස්ත්‍රී දූෂණ මෙන්ම මනුස්ස ඝාතන සංස්කෘතියකුත් අවසන් නැතිව පසුකරන මේ කාලය මෙන්ම පරිසරයද  තවමත් මනුස්ස හිංසාවෙන් මුක්ත නොවූ රටකි. දේශපාලන සංස්කෘතියේද ප්‍රතිවිරුද්ධවාදියාගේ ජීවත්විමේ අයිතිය හෝ පැවැත්ම දරාගැනීමට තරම් ඉවහල් වන ව්‍යවස්ථාමය මෙන්ම චින්තනමය සාමයක් පැළවී නැති බව පෙනේ.
මෙම මොණරා පිළිබඳව මේ වන විට ඩේලි මිර්ර පුවත්පතේ ද පළවීි තිබේ. එහි සඳහන් වන්නේ ඔහුගේ බිරිද විසින් වෙන්නප්පුව පොලීසියට කර ඇති ප්‍රකාශයකි. එහි සඳහන් වන්නේ මෙම මොනරා ඔවුන් ගමන්ගත් මාර්ගයේදී ගමන්ගත් වාහනය මතට වැටුණ බවයි. එමෙන්ම ඔවුන් ගමන් ගෙන ඇත්තේ  දේවස්ථානයේ දේව මෙහෙයකට බවයි.  පසුව මැරී වැටුන මොණරාව ඔවුන් සිය වාහනයේ ගෙනගොස් වනයට දැමූ බවද එහි සඳහන් වේ. එසේ  නම් මෙම ඡායාරූපයේ සිටින්නේ වෙන මොණරෙක් ද?FB_IMG_1459140149430pecoke

එහි සත්‍ය අසත්‍ය කෙසේ වුවුත් අපට මඟහැරිය නොහැකි කරුණ මෙයයි.  මෙම ඡායාරූපය විසින් අපට පවසන දෙය වෙනස් කළ හැකිද යන්නයි.  මැරුණ සතුන් පිලිබඳව පළවන ඡායාරූප ඕනෑතරම්  අප එෆ් බී  FB එකේ දකින්නෙමු. ඒවායේ කිසිදිනක මිනිසුන් සතුටු වන දර්ශන නැත. ශෝක සටහන් මෙන්ම ශෝකය සටහන් වූ ප්‍රතිචාර ඕනෑතරම් ඇත. ඒවායේ ඇත්තේ කම්පාවය, සසලවිමය. නමුත් මෙහි තිබෙන්නේ ජයග්‍රාහී ස්වරූපයකි. අනෙක් අතේ තුවක්කුවක් ද තිබේ. අල්ලාගෙන සිටින්නේ මොණරාගේ බෙල්ලෙනි. එහි කිසිඳු අනුකම්පාවක් හෝ අනේ පව් අහිංසක සතෙක් වැනි හැඟීමක් නොමැත. එබැවින් මෙහි සිදුවී ඇත්තේ සත්ව හිංසාවක් යන සිතිවිල්ල සපුරාම පසෙකලනු නොහැකිය.
දැන් මා යොමුවන්නේ මේ පිළිබඳව ඇතිවී ඇති සංවාදයේ දී මතුවූ තවත් කරුණක් වෙතය.
මෙවැනි රටක දී  අප වැනි කතෝලික බහුතරයක් ජීවත්වන වෙන්නප්පුව ,බොරලැස්ස වැනි ප්‍රෙද්ශයක ජීවත් වෙමින්  සත්ව හිංසාව ගැන යමක් ලියන්නට  සිදුවීම එක්තරා අභියෝගයක් බව දනිමි. මෙම අභියෝගය පිළිබඳව  මට පළමුව ලංකාදීප වෙන්නපුව වාර්තාකරු චන්දන මහතාද සටහන් කර තිබේ. ( fb සටහන )
මා එය අභියෝගයක් යැයි පවසන්නේ අපට නිතරම වාගේ සතුන් ඝාතනය කරන මෙන්ම ඝාතනය සඳහා ඔවුන්ව ආදරයෙන් හදා වඩා ගන්නා ,එය ස්වයං රැකියාවක් ලෙස කරන පුද්ගලයන් සිටින පරිසරයකම ජීවත් වීමට සිදුවීමත් ඒ ක්‍රියාවලියේ අපද කොටස්කරුවන් හා පාරිභෝගිකයන් වෙමින් මේ පිළිබඳව කතාකිරීමටත් සිදුවීමයි. මත්ස්‍යයින් හැරෙන්නට ඌරන්, කුකුලන්,එළුවන්,මෙන්ම ගවයින් ද,  ඇතිකිරීම අරක්කු හැරෙන්නට මේ ප්‍රෙද්ශයේ සිදුකරන ප්‍රධානතම ව්‍යාපාරයකි.
කුකුල් මස් ව්‍යාපාරයද විශාල වශයෙන් දියුණු වූ ප්‍රෙද්ශයක් ලෙස අප නම් දරා සිටිමු.

මාගේ අත්දැකීම්

මාගේ අසල්වැසි නිවසේ ජීවත්වූ ලලි අක්කා ජීවිකාව වෙනුවෙන් ඌරන් ඇති කළාය.
උදේ ඇහැරුණ පෙළේ පටන් ඇය ඌරන්ට කෑම දීම, කොටු සුද්ද කිරීම ආදී කටයුතු වල නිරත වන්නීය. එබැවින්ම
ඌරන්ගේ ශබ්දය,උන් පොර කන සද්දය,මගේ කනට හරිම පුරුදුය.
එමෙන්ම කණගාටුම දිනය එළඹෙන්නේ මස් වෙළෙන්දා පැමිණෙන විටය.
ඌරු වෙළෙන්දාගේ යතුරුපැදිය හන්දියෙන්  හැරෙන විටම කොටුවේ සිටින ඌරන් කලබල වී කෑ ගසන්නට, දගලන්නටත් පටන් ගනී. කිසිවෙකුත් අසල කලබල නොවන ඌරන් මස් මරන්නාව හොඳින් හඳුනයි.  අපේ අම්මා කියන්නේ උන්ට ලේ සුවඳ දැනෙන බවයි. හොඳින් කෑම කා වැඩුණ චීන උෟරෙකුට  ලේසියෙන් මේ ප්‍රෙද්ශයේ අය අනුකම්පා නොකරති. ඌ කොපමණ ලස්සන වුවත් කිිසි දවසක මොණරෙකු  තරම් ලස්සනක්  ඌරාගෙන් පෙනෙන්නේ නැත. මොණරා කෙතරම් ලස්සනද ? මෙවැනි ප්‍රශ්නයක් කෙනෙකුට අසන්නට නොහැකිද ?
ඌරන් කොපමණ ලස්සනද? කුකුලා ද ලස්සන හැඩකාර සතෙකි. ඇයි ගවයින්,එළුවන් ඔවුන්ද හරිම ලස්සනයි.  ඔවුන්ගේ ලොම් ,පිහාටු කොතරම් සිලිටු ද?  ඇත්තෙන්ම අපගේ බඩගින්න විසින් ඇතිකරන මාංශ අනුභව කිරීමේ රුචිය නොවේ නම් සියලූම සත්වයින් සංවේදි මෙන්ම සුන්දරය. එහිදී මොණරුන් හෝ අන් සතුන් අතරද වෙනසක් නොමැත.
දුර්ඝන්ධය ඉසිලිවුවත් ඌරු මසට ඇති පෙරේතකම වෙනුවෙන් කෙසේ හෝ එක උරෙක් හදන පුරුද්දක් ද අපේ නිවෙස් වල තිබුණි. ඒ ඌරා නත්තලටය. ජේසු බිළිඳාගේ උපත වෙනුවෙන් මැරෙන ඌරන්,කුකුලන්,හා ගවයින් මෙන්ම එලුවන් ගැනද ගණන් බලන්නට බැරි තරම්ය. ඌරන් කෑ ගැසීමේ අර්ථය වටහාගත්  මම මේ  ඌරු කරුණාව හේතුවෙන්ම ඌරු මස් කෑම  අත්හළෙමි.
අපේ ගමේ ජීවත්වන ‘ගස් කපන සුනිල් අය්යා’  දැන් ගස් නගින්නේ නැත.
ඔහුට ඒ රස්සාව කරගැනීමට එතරම්ම ගතේ වාරුවක් නොමැති නිසා කුමක් හෝ කුලී වැඩක් කර ජීවිකාව සොයා ගනියි. සෙනසුරාදා හෝ ඉරිදා  මස් කඩයක සහයට ගොස් එහිදී පැවරෙන වැඩ කිරීමද ඔහුගේ රාජකාරියයි. මස් කඩයේ දී සිදුවෙන සියල්ල එළඹෙන විරාමයේදී ඔහු අපේ පිළේ වාඩිවී තාත්තා සමඟ පවසනු මට ඇසෙයි. ‘‘ අය්යට කියන්ඩ අද කුකුලෙක් හම ගැහුවා..ඌ නාකිම නාකි කුකුලෙක්. පුදුම හය්යක්. හැබැයි මසුත් ඒ වගේම රහට ඇති, බිත්තර අරන් අතඇරලා දාපු කිකිලියෝ නේ. බ්‍රොයිලර් ලා නම් තද නෑ, හම ගහන්ඩ ලේසියි, හැබැයි මස නෑ.. එලු මස් කිලෝ ගණන් ගෙනියන්නේ ඉතාලි කාරයෝනේ, පන්දාහේ කොල අරන් එන්නේ , ඉතාලියෙත් එලු ‘කකුල් ‘ සුප් වලට ගන්නවලුනේ ”
සුනිල් අය්යා වෙන්නප්පුවේ ඉන්න එළුවන්ට අමතරව ඉතාලියේ එලුවෝ ගැනද සාක්ෂි දරයි.
කුකුලෙක් හම ගහලා ඔහොම කියවනවා නම් එලුවෙක් හම ගහපු දාට තව රසකර ලුණු ඇඹුල් ඇතිවම  සත්ව   ඝාතන සංස්කෘතිය ගැන දැනගන්නට හැකි වන බව මා පැවසූවේ යාන්තම් අම්මාගේ ඌරු මස් කෑම නවත්වා ගත් මා හට  නැවතත් ඇයට එළු කකුල් සුප් බීමට ආශාවක් ඇතිවුවහොත් යැයි දැනුන බිය නිසාය.
සුනිල් අය්යා සමග හෙමින් සීරුවේ කතා බහක යෙදී සිටිද්දී    ‘සතුන් මරන එක වැරදියි, උන්ටත් මරණ බිය දැනෙනවා, එකනේ උන්ව අල්ලන්ඩ යද්දී උන් බයේ දුවන්නේ “..,නේදැයි මම ඇගට නොදැනී කීවෙමි.
එවිට ඔහු කීවේ උන්ව  දෙය්යෝ   මවලා තියෙන්නේ අපේ බඩගින්නට තමයි ..” එහිදී ඔහුගෙන්  මා උගෙන ගත්තේ ඔහු එසේ සිතන තාක් ඔහුට සතුන් මැරීම පිළිබඳ පශ්චත්තාපයක් ඇතිවිය නොහැකි බවයි.  එමෙන්ම මස් අනුභව කරන්නන් සිටින නිසා සුනිල් අය්යාට හැමදාම මස් කඩවල රස්සාව තිබේ.
සත්ව ඝාතකයන්ට ඇඟිල්ල දික්කරන අප අනෙක්  අතින් අපේ පිඟානට එන මස් භෝජනය වළඳමු.
එහිදී අපට මස් මරන්නා හෝ නීති විරෝධීව හරක් පටවන්නා සිහි නොවේ. නමුත් අපි සත්ව ඝාතකයන්ට ද විරුද්ධ වෙමු. මේ දෙබිඩිභාවය අපේ ආත්මය වසාගෙන තිබෙන යතාර්තයකි.
මේ වැරැද්ද නිවරදි නොවී දිගටම සිදුවන චක්‍රයේ අපද පංගුකාරයෝ වී සිටින බව මතක් කරගත  යුතුය.
ඉහත කී උදාහරණ  මා ගෙන ආවේ  මෙවැනි  පරිසරයක ජීවත්ව,ඉපදී හැදී වැඩුණ කෙනෙකුට මොණරෙක් ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් බව පසක් කරලනු පිණිසය.
නීතිය හා සදාචාරය පිළිබඳව ප්‍රශ්නය එන්නේ දෙවනුවය. සතුන් මැරීමේදී තහනම් කළ සතුන්  තහනම් නොකළ සතුන් ලෙස තෝරාගත යුතු යැයි මා නොසිතමි.  පරිසරයට අවශ්‍ය , දුර්ලභ සතුන් ආරක්ෂා කිරීමද කළ යුතුය. බොහෝ  කතෝලිකයන් වන්දනාව පිණිස යන දුරගමන් වලදී, සතුන් දඩයම් කරති. නැතිනම් දඩ මස් සොයා යති. මෙය කතෝලික ජනතාවට ඉතාම සාමාන්‍ය අත්දැකීමකි. අප සියල්ලෝම ඉරිදා පුජාවට ගොස් ගෙදර යන ගමන් මස් කඩයෙන් කුකුලෙක් අරගෙන යන බව අප දනිමු. එහෙත් දෙවියන්වහන්සේ අපට අවසර දී ඇති නිසා, උඩුකරුව එල්ලී සිටින  කුකුලා දැක හෝ,හතර ඝාතයෙන් එල්ලී සිටින ඌරා දැක හෝ අප බියවන්නේ නැත. සමහර අයට නම් ඌරු ඝාතයේ ලේ පැහැය මදි නිසා ලේ පාට සායම්ද දමා පාට කරන්නට ඕනෑය. සත්ව හිංසනය යන කාරණයේදී මස් ද මාලුන් ද කියා  වෙනසක් තිිබේ යැයි මා නොසිතමි.  මස් කෑමේ අයිතියත් සතුන්ට ජීවත් වීමට ඇති අයිතියත් අතර ඇති ඉතාම සංවේදී ගැටුමකට අප මැදිවී සිටිමු. නමුත් මෙහිදී වැදගත් වන්නේ යැයි මා සිතන්නේ අපගේ හැඟීමයි. ආහාර සඳහා විකල්ප සොයා ගැනීමට හැකි වන්නේ අප සතුන්  පිළිබඳව සංවේදී වන තරමටය. එවිට සත්ව පරිභෝජනය සඳහා වෙළඳපළක් අහිමි වනු ඇත.
මෙහිදී දෙවියන්ට නම් යම් වැරදීමක් සිදුවී ඇති බව මාගේ විශ්වාසයයි.

සටහන – කුමාරි ප්‍රනාන්දු

සිදුවීමට අදාළව මාධ්‍ය වල පළවූ ලිපි