මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසල සිටින තැරැව්කරුවන්ට වැඩ වරදින ලකුණු

0
57
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් ශාඛා කාර්යාලය අසල රැදී සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යවරයා සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වී ඇත්තේ අදාල කාර්යාල අසල තැරැව්කරුවන් විශාල පිරිසක් රැදී සිටින බවයි.
ඔවුන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිය කටයුතු සදහා පැමිණෙන ජනතාව හිංසාවට සහ පීඩාවට පත් කරන අතර ව්‍යාජ සහතික නිකුත් කරමින් ඒ සදහා විශාල ගාස්තු අය කිරීමට ද එම තැරැව්කරුවන් කටයුතු කරන බව අමාත්‍යවරයාට නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව අදාල වංචනික පුද්ගලයින් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පැමිණිලි කරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය සදහන් කළේය.
එමෙන්ම මෙම වංචනික පුද්ගලයින්ට හසු නොවී සෘජුවම මෝටර් රථප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී සිය සේවාවන් ඉටු කරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සදහන් කර ඇත.