ඔහු තනිව මහ මග ඇවිද යන ඇතැම් අවස්ථාවක අසල්වාසී තරුණයකු විහිළුවට එසේ විමසයි. වයෝවෘද්ධ හෙතෙම එයට විහිළුවකින් ම මෙලෙස පිළිවදන් සපයයි.
‘‘කිරිල්ලි වෙන කූඩුවකට ගියානෙ. මොකද මේ කුරුල්ලට දැන් වයසයිනෙ’’
මෙලෙස තමා ජීවත්වන ප්‍රදේශයේ අසල්වැසියන් ‘‘සුළං කුරුල්ලා’’ ලෙස නාමකරණයට ලක් කොට ඇත්තේ අන් කිසිවකු නොව පසුගිය 21 වන දින අප අතරින් වියෝ වූ ප්‍රවීණ ගායන ශිල්පී හරුන් ලන්ත්‍රා ය. වයෝවෘද්ධ වුව ද ඔහුට ‘‘සුළං කුරුල්ලා’’ යනුවෙන් ඇමතුවේ 1965 වසරේ දි තිරගත වූ ‘‘සැනසුම කොතනද?’’ චිත්‍රපටය සඳහා ඔහු විසින් ගයන ලද ‘‘සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී’’ ගීතය එතරම් ම ජනප්‍රිය වී තිබූ බැවිනි; එතරම්ම මිනිස් සිත් සතන් තුළ රැඳි පවතින බැවිනි.
පාසල් අවධියේ සිට ම ගායනයට ඉමහත් රුචිකත්වයක් දැක්වූ හරුන් වඩාත් ප්‍රකටව සිටියේ මෙහොමඩ් රාෆී විසින් ගයන ලද ගීත ගැයීමට ඉතා දක්ෂතාවක් දැක්වූ ගායන ශිල්පියකු වශයෙනි. ඔහුට එකල ගීත ගායනයෙන් තොර ජීවිතයක් නොතිබුණ තරම් ය; ඔහු නොමැති මගුල් ගෙදරක්, උපන්දින සාදයක් හෝ වෙනත් කිසිඳු සාජ්ජයක් නොමැති තරම් ය.
ඔහු සිය පාසල් දිවිය අරඹන්නේ කොළඹ සහිරා කොලීජියෙනි. අනතුරුව කොළඹ ශාන්ත ජෝන් විද්‍යාලයට ප්‍රවේශ වන ඔහු සිය අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ කොටහේනේ ලෝරන්ස් කොලීජියෙනි. ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා වෙහෙසක් නොදැරී ය. එයට බලපෑ ප්‍රධාන ම හේතුව වූයේ දරුවන් අට දෙනකුගෙන් යුත් එම පවුලේ එකම පිරිමියා ඔහු වීම ය. ඔහු කුඩාකල සිට ම ඇති දැඩි වන්නේ ඉමහත් සුරතලයට ලක් වෙමිනි. හෙතෙම සිය නිදහස උදෙසා එම සුරතලය ම ආයුදයක් කොට ගන්නේ ය.
සංගීතයට දැක්වූ රුචිකත්වය ඉහවහා ගිය මොහොතේ ඔහු ශාස්ත්‍රීය සංගීතය හැදෑරීමට පෙලඹුණේ ය. ඔහුගේ සංගීත ගුරුවරයා වූයේ ද මෙරට ප්‍රකට හින්දි ගායන ශිල්පිණියක වූ චම්පා කල්හාරී ගේ දයාබර පියාණන් වූ එස්. ඩී. එස්. ජයසේකර සංගීතාචාර්යවරයා ය. ජයසේකර සංගීතාචාර්යවරයාගෙන් ශිල්ප ලැබූ හරුන් එකල ගුවන්විදුලි සංස්ථාවේ පැවති සම්මුඛ පරීක්ෂණයකින් සමත්ව ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස ගායන ලොවට පා තැබී ය.
සරල ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි හරුන් පළමුවෙන් ම චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස සහභාගි වන්නේ ‘‘දේවසුන්දරී’’ චිත්‍රපටය සඳහා ගායනයෙන් දායක වීමෙනි. එම ගීතය රචනා කොට ඇත්තේ හියුගෝ ප්‍රනාන්දු වන අතර සංගීතය සපයා තිබුණේ ඉන්දියානු සංගීත ශිල්පියෙකි. එදා මෙදා තුර කාලයේ දී හරුන් චිත්‍රපට පනහකට ආසන්න ප්‍රමාණයක් සඳහා පසුබිම් ගායනයෙන් දායක විය.
යොවුන් වියේ දැඩි හිතුවක්කාර දිවියක් ගතකළ හරුන් දෙමාපියන් ගේ සහ වැඩිමහල් සොයුරියන්ගේ ද අවවාද අනුශාසනා නොතකා තෝරාගත් සිය පළමු පෙම්වතිය විවාහ කර ගත්ත ද ඇය සමග දිගුකලක් දිවි ගෙවන්නට නොහැකි තත්තවයක් උදා විය. අනතුරුව වසර ගණනාවක් තව දුරටත් හිතුමතේ ජිවිතයක් ගතකළ හරුන් අසුව දශකයේ මැද භාගයේ දී පමණ අතාරික් නම් වූ නව පෙම්වතිය සමග යුගදිවි ඇරඹී ය. යුගදිවියක් ගතකළ ද මේ දෙදෙනා ම දරුවන් කෙරෙහි උනන්දුවක් නොදැක්වූහ. ඒ ඔවුන් දෙනොම නිදහස අගය කළ හෙයිනි. පසුකලක දී ඔවුන් ඒ ගැන පසුතැවිලි වූ බව හිතමිතුරන්ගෙන් දැනගන්නට ලැබිණ.
ඔහු ගායනා කළ ගීත අතුරින් වැඩි ගීත ප්‍රමාණයක් රචනා කොට ඇත්තේ එකල ජනප්‍රිය තලයේ ගීත රචකයන් වූ: කරුණාරත්න අබේසේකර, ඇලෝයි ගුණවර්ධන සහ ධර්මසිරි ගමගේ යනාදී ගී පද රචකයෝ වීම ද සුවිශේෂ ය. ධර්මසිරි ගමගේ මහතා මිය ගිය සමයේ හරුන් පුවත්පතකට කර තිබු පුකාශය මට දැනුඳු සිහියට නැගේ.
‘‘ධර්මසිරි ගමගේ වැනි මිනිසුන් අපේ ආයුසත් අරගෙන වැඩි කාලයක් ජිවත් වෙන්න ඕන මිනිස්සු’’ ඒ ඔහුගේ අවංක ප්‍රාර්ථනාව යි.
ඔහු ගැයු ගීත වෙනුවෙන් සංගීතය සපයා ඇත්තේ ද දිවයිනේ ප්‍රකට සංගීත ශිල්පින් වීම තවත් සුවිශේෂිත කරුණකි. ඒ අතර: ආර්. මුත්තුසාමි, ආර්. සී. චන්ද්‍රෙස්න, බී. එස්. පෙරේරා සහ සිසිර සේනාරත්න ඔහු වඩාත් ඇලුම් කළ සංගීත ශිල්පින් බව පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබිණ. එමෙන් ම ඔහු සමග යුග ගී ගයා තිබුණේ ද දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පිණියන් බව ද සදහන් කළ යුතු ය. ඒ අතුරින් ඔහු වඩාත් ප්‍රිය කළේ සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොළ සහ ස්වර්ණලතා කහවිට යනාදී ගායන ශිල්පීන්ට ය. මන්ද ඔවුන් සමග ගැයූ යුග ගී යුගයෙන් යුගය ජනප්‍රියත්වයට පත්විය. එය හරුන්ගේ ගායන දිවිය ආලෝකමත් කරන්නට ද ඉමහත් දායකත්වයක් සැපයී ය.
කෙසේ වුව ද මෙබඳු කලාකරුවන් කෙරෙහි දක්වන අඩු සැලකිල්ල හේතුවෙන් සිය ජිවිතයේ අවසන් සමය ගෙවන්නේ ඉතාමත් දුක්ඛිත අයුරිනි. හරුන් ලන්ත්‍රා නමැති මේ ගායන ශිල්පියාට ද එය වෙනසක් නොවී ය. පසු කලකදි ජිවත්වන්නට නිවහනක් පවා නොමැති තත්ත්වයට පත්වු මෙම යුවළට නිවසක් ලබා දීම සඳහා උපකාර කොට ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක බව දැනගන්නට ලැබිණ.
සිය ජීවිතය අවසන් සමයේ දී ඔහු තවත් අභාග්‍යයකට මුහුණ පෑවේ ය. එනම් උගුරේ ආබාධයක් හේතුවෙන් කතා කීමට පවා අපහසු වීම ය. ගායන ශිල්පියකුගේ හෝ ශිල්පිණියකුට කතා කිරීමට නොහැකි ආකාරයේ රෝගයකට ගොදුරු වනවා යන්න කෙතරම් ඛේදජනක ද? ඒ ඛේදජනක ඉරණමට මුහුණ දෙන්නට හරුන්ට සිදුවිය.
ඔහුගේ උගුරේ ආබාධය මගහරවා ගැනීම සඳහා කළ යුතු සැත්කම සඳහා අනුග්‍රහය දැක්වීමට නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වුව ද හරුන් කටහඩ නොමැතිව වුව ද වැඩි කාලයක් ජීවත්වීම සඳහා දැක් වු රුචිකත්වය හේතුවෙන් එම සැත්කමට ඉදිරිපත් නොවී ය. මන්ද එම සැත්කමෙන් ඔහුගේ ජීවිතයට හානියක් වේ යැයි ඔහු බිය විය. එහෙත් ඊට අදාළ බාහිර ප්‍රතිකාර සියල්ල ම නවලෝක රෝහලින් ඉටු කර ඇති බව ප්‍රකට කරුණකි.
ජිවිතයේ සැඳැසමය ගෙවමින් සිටි මේ යුවළට අවසානයේ තම බඩවියත රැකගැනීම සඳහා ලද එකම ආදායම වූයේ ටවර් හෝල් පදනමෙන් ලද රුපියල් දෙදහසක මුදල පමණි. ඔහු සහ බිරිඳ මෙතෙක් කල් හෝ ජිවතුන් අතර සිටියේ බිරිඳගේ පාර්ශවයෙන් සහ අසල්වැසියන්ගෙන් ලද උපකාරයෙනි.
එසේ නොවන්නට හරුන් ලන්ත්‍රා නම් ප්‍රවීණ ගායන ශිල්පියා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන අතාරික් හාමතින් මිය ගොස් බොහෝ කල් ය. අතාරික් මහත්මියගේ කැපවීම ද මෙහි දි වෙසෙසින් ම සඳහන් කළ යුතු ය. මන්ද ඇය අඩදෘශ්‍යාබාධිත ය. එහෙත් ඇය සිය සැමියා වෙනුවෙන් කළ හැකි සෑම වගකීමක් ම, යුතුකමක් ම හැකි පමණින් ඉටු කළා ය. ඇය වෙනුවෙන් හරුන් ද හැකි සෑම වගකිමක් ම, යුතුකමක් ම ඉටුකිරිමට වගබලාගත්තේ ය. දැන් ඇය පිළිබඳ සොයා බලන්නට කිසිවකු ඉතිරිව ඇත් ද…!
ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com