යුක්ති ධර්මය සහ දකුණේ පීඩිත සිංහලයාගේ සදාචාර චිත්තය

0
239

No-Fire-Zone_Balachandran-Prabhakaran_1-300x169අවම වශයෙන් අට ලක්‍ෂයක් දෙනා ඝාතනය වූ පෝලන්තයේ ටෙ‍්‍රබ්ලින්කා නාට්සි සිර කඳවුරේ දෛනික ජීවිතය විධිමත් වැඩ බෙදීමක් යටතේ සංවිධානය කොට තිබිණැයි ඉන් ගැළ වී ගත්තෝ ලියති. ඒ අනුව, කඳවුරු පරිපාලකයන් හැරුණු විට ගෑස් කාමර තුළට හයිඩ‍්‍රජන් සයනයිඩ් මුදාහරින නල පද්ධති නඩත්තුකරුවන් ද, ආදාහනාගාර කරා යන කොබළු ඇල්ලූ පටු වීථි පවිත‍්‍ර කරන්නන් ද, ආදාහන උදුන් ක‍්‍රියා කරවන්නන් ද, මරණයට නියමවූවන් පෙරටු කොට යන තූර්ය වාදකයන්ද යනාදී වශයෙන් සිරකරුවෝ එකී චර්යාගත ක‍්‍රියාවලියට සහභාගී වූහ. දෙවන ලෝක යුද්ධයෙන් විසි වසරකට පසු අත් අඩංගුවට ගත් ටෙ‍්‍රබ්ලින්කා කඳවුරේ නාට්සි අණදෙන්නා වශයෙන් ක‍්‍රියා කළ ෆ‍්‍රාන්ට්ස් ෂ්ටන්ග්ල් සිය නඩු විභාගයේදී මෙසේ කීවේය: ‘මගේ හෘදය සාක්‍ෂිය නිරවුල් ය. මා කළේ මට පැවරුණු රාජකාරියයි.’

ට්‍රෙබ්ලින්කා හෝ අවුෂ්විට්ස්හි බල පැවැති නාට්සීන්ගේ ලෝකය තුළ සිදු වූ ඇදහිය නොහැකි ඝෝර කුරිරුකම් සාමාන්‍යකරණය කරන ලද්දේ ඒවා චර්යාගත දෛනික රාජකාරී බවට බවට පෙරළීමෙනැයි මහාචාර්ය ලීසා පීටි පසුකලෙක ලීවාය. බිහිසුණු අපරාධ විසින් ශිෂ්ටාචාරගත මිනිස් සමාජයක් තුළ ඇති කළ යුතුව ඇති සදාචාර ආතතිය සමනය කරන්නට නම් පළමුව ඒවා අචේතනික රාජකාරී බව පෙරළිය යුතු ය. දෙවනුව, එම අපරාධයන්ට ගොදුරුවන්නන් පූර්ණ මිනිසුන් ගණයෙහි ලා නොගැණෙන අවමානවයන් බවට පිරිහෙළිය යුතු ය. අපේ මෑතකාලීන ඉතිහාසය ඊට කදිම සාක්‍ෂි සපයයි.

යාපනයේ, මිරිසුවිල් සමූහ ඝාතනය එවැනි නිදසුනකි. පස් හැවිරිදි දරුවෙකු ඇතුළු දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු 2000 දෙසැම්බරයේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් දෙසැම්බර් 13 වැනිදා ‘ඉරිදා දිවයින’ පත‍්‍රයේ පිටුවක් පුරා පළ කොට ඇති ලිපියේ චුදිත සෙබළා මෙසේ කියයි: ‘‘මිනිස්සුන්ව මරලා වළක දාලා තිබුණේ.. පස්සේ යුද හමුදා පොලිසිය මට කිව්වා ඒ තැන පෙන්නන්න කියලා.. මම ගිහින් පෙන්නුවා.. ඒ වළ තිබුණු තැන එදා කෑම්ප් එකේ හැමෝම දැනගෙන හිටියේ…..මම එල්ටීටීඊයෙන් මේ රට බේර ගන්න යුද්දෙට ගියා.. මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා.. මාන්කුලම්වලදී මට වැදුණ මෝටාර් එකේ කෑල්ලක් තවමත් ඔලූවේ තියෙනවා.. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ මට රණශූර පදක්කමත් ලැබුණා..ඒත් දැන් මට මරණ දඬුවම ලැබිලා..’’

අනතුරුව වාර්තාකරුවා මෙසේ ලියයි: ‘‘එදා දරුණු සටන් පවතිද්දී එල්ටීටීඊය රැඳී සිටි ප‍්‍රදේශයේ සිට කිසිවකු හෝ සීමා මායිම් නොතකා දර කඩන්නට මිරුසුවිල් හමුදා කඳවුරට අයත් ප‍්‍රදේශය වෙත ඇතුළු වූයේ නම් ඌට පැහැදිලිවම මොලේ අමාරුවක් තිබිය යුතු ය. එසේ නැතිනම් පැමිණියේ වෙනත් අරමුණකට විය යුතුම ය. ඒ සැඟවුණු අරමුණ පැහැදිලිවම හමුදාවට ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔත්තු බැලීම විය හැකි ය. එල්ටීටීඊය යනු ත‍්‍රස්තවාදයකි. උන් ක‍්‍රියාත්මක වූයේ සාමාන්‍ය මිනිසුන්ගේ වෙස් ගනිමිනි.’’

මේ හා සමාන ලිපියක් 2011 ජූනි 12 වැනි දා ‘ඉරිදා දිවයින’ පත‍්‍රයේම පළ කර තිබිණ. ඒ යාපනයේ උසස් පෙළ ශිෂ්‍යාවක් වූ ක‍්‍රිශාන්ති කුමාරස්වාමි 1996 සැප්තැම්බරයේදී කයිතඩි හමුදා මුරපොළේදී සමූහ දූෂණයට ලක්කොට අනතුරුව ඇගේ මව හා බාල සොහොයුරා ද, අසල්වැසියෙකු ද සමග ඝාතනය කොට වළලා දැමීම සම්බන්ධයෙනි. සිදුවීමෙහි චූදිත සෙබළු මෙසේ කියති: ‘‘ප‍්‍රබල එල්ටීටීඊ ගර්ල් කෙනෙක් එනවා විභාගෙට ලියන්න… ඔයාලා හොඳට ටච් එකේ ඉඳල එයා විභාගේ අන්තිම පේපර් එකට ලියල යන දවසේ ඔතනදී අත්අඩංගුවට ගන්න ඕනේ කියලා අපිට නියෝගෙ දෙන්නේ ඉහළින්… ඉතින් අපි ඒකට ලැහැස්ති වෙලා හිටියේ……ක‍්‍රිෂාන්තිව හමුදා අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය වෙලා අයියේ, මාස කිහිපයකට පස්සේ ඒ විදිහට ‘සත්ජය’ මෙහෙයුම පටන් ගත්තා… ඒකට අපිවත් ආයෙත් ඉදිරි පෙරමුණට කැඳෙව්වා…ඒ අතරේ තමයි අයියේ මහ පුදුම කතාවක් රටේ කියවෙන්න පටන් ගත්තේ… ක‍්‍රිෂාන්තිවයි අම්මවයි අනිත් දෙන්නවයි හමුදාවෙන් මරලා කියලයි ඒ කතාවෙන් කියවුණේ…’’

වාර්තාකරුවා ඉක්බිති මෙසේ ලියයි: ‘‘මෙතෙක් වේලා ආයාසයෙන් දරමින් මා සමග දොඩමලූව සිටි ඔහුගේ දෑස දිලිසෙමින් තිබේ. ඒ අවසන් වදන් කිහිපය ඔහුගේ මුවින් ගිලිහී ගියේ සිහින් ඉකිබිඳුමක් ද මුසුව බව මට රහසක් ද නොවේ. ‘මොකක්ද අයියේ අපිට මේ වුණේ’ ඒ වදන් පෙළ යළි යළිත් මට ඇසෙන්නාක් මෙනි……අපේ රණවිරුවන් හය දෙනකුගේ ජීවිත හමුවේ ඔබට පිළිතුරු සෙවීමට ඒ පැනය ඉතිරි කරමින් මම මේ දුක්බර කතාවට තිත තබමි’’.

පළමුව, සාහසික අපරාධ වනාහී ‘නිර්දෝෂී සෙබළුන්ගේ’ දෛනික චර්යාවන්ට අයත් රාජකාරියක කොටසක් සේ සාමාන්‍යකරණය කොට ඉදිරිපත් කෙරේ. දෙවනුව ඊට ගොදුරු වූවන්ගේ මනුෂ්‍යභාවය ප‍්‍රතික්‍ෂේප කොට ඔවුන් මුහුණ දුන් සැහැසි ඉරණම යුක්ති යුක්ත කෙරේ. චුන්ඩිකුලි බාලිකාවේ ක‍්‍රිශාන්ති කුමාරස්වාමිගේ පටන් මිරිසුවිල්හි ගෙළ කපා ඝාතනය කළ පස් හැවිරිදි විල්වරාජ් ප‍්‍රසාද් දක්වා මළවුන්, හමුදා පාලන ප‍්‍රදේශ තුළ ඔත්තු බැලීමට ආ ‘කොටින්’ බවට වෙස් පෙරළෙන්නේ ඒ අනුව ය. සොල්දාදුවා හා මාධ්‍යකරුවා අතර ශ‍්‍රම විභජනය වැදගත් වන්නේ මේ වෙස් පෙරළීම සම්පූර්ණ කරනු පිණිස ය.

‘මා කරන්නේ අණ පිළිපැදීම’යැයි සෙබළා කියයි. ‘මා ලියන්නේ නිදොස් සෙබළුන් කී දේ’ යැයි වාර්තාකරුවා ලියයි. නමුත් සාහසික අපරාධයන්ට ගොදුරුවූවෝ අවතාර මෙන් කිසිවෙකුගේ ඇස නොගැටී මේ කතා තුළ සැරිසරති. යුක්ති ධර්මය පිළිබඳ දකුණේ පීඩිත සිංහලයාගේ සදාචාර චිත්තය තවත් අඩ සියවසකට මොට කෙරෙන්නේ මේ හළාහල විෂ පෙවූ වර්ගවාදී ප‍්‍රබන්ධ සාහිත්‍යයෙනි.

‘කතා කිරීමේ නිදහසත්, හෘදය සක්‍ෂියේ නිදහසත්, ඒ දෙකම පාවිච්චි නොකර සිටීමේ ප‍්‍රඥාවත් දේවාශිර්වාදයෙන් ඇමරිකානුවන්ට ලැබී ඇතැ’යි මාක් ට්වේන් සිය Following the Equator චාරිකා සටහන් අතරේ උත්ප‍්‍රාසයෙන් ලියයි.

අපේ ගැටළුව මෙයයි: විපරීත අපරාධකාරීත්වයේ චෝදනාවන්ගෙන් බේරීගත හැකි සදාචාර ගැළවුම් මාර්ගයක් පෑදෙනු ඇත්තේ නග්න දුෂ්ඨත්වය ගැන මුනිවත රැකීමෙන් හෝ එය වසන් කොට ඉතිහාසය නැවත ලිවීමෙනැයි ඇතැම්හු කල්පනා කරති. වර්ගවාදී පරපීඩකත්වය වික‍්‍රමාන්විත පදක්කමක් සේ පින්තාරු කෙරෙන්නේ එබැවිනි. නමුත් අප සැඟවී සිටින දුශ්ශීල කුරුබිලිය තුළම වැළලී යාමේ දුර්භාග්‍යය අප අත් හැර නොයන්නේ ද ඒ නිසා ය.☐

(මෙම ලිපිය 2015 දෙසැම්බර් 20 වැනිදා ‘රාවය’ පත්‍රයේ මුලින් පළ විය.)

රෝහිත භාෂණ අබේවර්ධන