යුතුකම් හදුනන ජෝශප් අයියා

0
500


ජෝසප් අයියා, හුඟ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ
විනී නැන්දාගේ ජෝසප් විදිහටයි.
විනී කියන්නේ ඔහුගේ අම්මා.
එයාගේ රස්සාව මාළු විකුණන එක. අහිංසක මාළු වෙළෙන්දියක්. පුළුවන් තරම් අඩුම මුදලට ගන්න පුළුවන් මාළු තමයි එයා වැල්ලෙන් මිලට ගන්නේ. ඒ ඉතින් තියෙන අහිංසක කමට.
ජෝසප් කියන්නේ ඇයගේ පුතා.
මම මේ ලියන්න යන දේ ගැන සමහරවිට තවත් කෙනෙක් එතරම් කැමැත්තක් දක්වන එකක් නෑ.
ඒත් මම ඇත්ත කිව යුතුමයි.
1980 ගණන්වල සෙත්තප්පාඩුව පමුණුගම තරුණු ක්‍රිස්තියානි සංගමය ආරම්භ කළ කාලයේ අපිට ජාතික සභාවෙන් ධීවරයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබුණා.
ඒ සඳහා අපිට ආධාර උපකාර කළේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය.
ඒ යටතේ සෙත්තප්පාඩුවේ ධීවර මහතුන් පස් දෙනෙකුට තෙප්පම් සහ දැල් ආම්පන්න ණය ආධාර ක්‍රමයක් යටතේ ලබා දුන්නා.
එහිදී මේ ධීවරයන් පස්දෙනා සමඟ තරුණ ක්‍රිස්තියානි සංගමයේ එකඟතාවයකට පැමිණියා.
මෙම දැල් සහ තෙප්පම් ලබා දෙන්නේ ණය ආධාර ක්‍රමයක් යටතේ, එය තවත් අයට ලබාදීමට නම් පළමුවෙන් ආධාර ලබා ගන්නා අය එම ණය මුදල නැවත තරුණ ක්‍රිස්තියානි සංගමයට කොටස් වශයෙන් ගෙවිය යුතුයි. ඒ සදහා අපි ධීවර මහතුන් පස්දෙනා සමග ගිවිසුම් පවා අත්සන් කෙරුවා
එම වැඩසටහන හොඳින් කරගෙන ගියා.
මේ යටතේ ආධාර ලබාගත් ධීවරයන් පස්දෙනාගෙන් නියමිත කාලයටත් පෙර ජෝසප් අයියා තමන් ගෙවිය යුතු සියලු මුදල් ගෙවා නිමාවට පත් කළා.
තමන් ලබාගත් ණය මුදල නැවත ගෙවීම සහ එසේ ගෙවීමෙන් තවත් කෙනෙකුට ආධාර ලබා ගැනීමට කටයුතු කිරීමේ ණය යුක්තියක් තමන් සතුව ඇති බව ජෝසප් අයියා තරයේ විශ්වාස කෙරුවා.
මට මතකයි ජෝසප් අයියා මේ විදිහට ණය ගෙවපුවාම ගමේ සමහර අය ඔහුට විහිළු කෙරුවා. ” ඕවා මේ වයි.එම්.සී.ඒ. එකට ලැබුණු ආධාර මිසක් ඕවා ආපහු ගෙවන්න ඕනේ ණය නෙවෙයි කියලා. ණය ආපසු ගෙවීම ගැන සමහරු ඔහුට ආඩපාලිත් කිව්වා.
එහෙත් කෙනෙක් කාගෙන් හරි ණයක් ගත්තොත් ඕනෑම තත්ත්වයක් යටතේ එය ගෙවිය යුතුයි යන යුතුකම දැනගෙන හිටපු කෙනෙක් තමයි ජෝසප් අයියා.
ඔහු මගේ තාත්තාගේ හොඳ මිතුරෙක්. ඔහු මාත් එක්ක පැවැත්වූයේ ඉතාමත් සුහද බවක්. සෙත්තප්පාඩුවේ මම අවංකවම ආදරේ කරන චරිත කීපයක් තියෙනවා.
ඒ අතර විශේෂ කෙනෙක් තමයි විනී නැන්දාගේ ජෝසප් අයියා.
ඔහුට ජීවිතයේ විවිධ ප්‍රශ්න තිබුණ බව මම දන්නවා. ඒත් මා මුණගැසෙන හැම වෙලාවකම ඒ මුහුණෙන් නම් කවදාවත් ඔහුට ප්‍රශ්න තියෙනවායි කියලා මට තේරුම් ගන්න බැරුව ගියා.
මොනතරම් ප්‍රශ්න තිබුණත් මුහුණෙ හිනාව රඳවා ගන්න පුළුවන්කමක් ජෝසප් අයියට තිබුනා.
ඔහුගේ මිය යෑමේ පුවත ආරංචි වූ විගස ඔහුගේ මළගමට යන්නට මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා.
එහෙත් මං කලින් යොදාගත් වැඩ කටයුතු කීපයක් නිසා සහ ඒවා කිසිසේත්ම අවලංගු කළ නොහැකිවූ නිසා මට ඔහුට අවසන් ගෞරව දක්වන්න යන්න බැරුව ගියා.
ඒක මගේ හිතේ හැමදාම තියේවි.
එහෙත් ජෝසප් අයියා වගේ යුතුකම් දන්න මිනිහෙක් ගැන මගේ හිතේ තියෙන මතකය හැමදාම පවතිනු ඇත.

ආදරණීය ජෝසප් අයියේ මම ඔබට සදා මොක් සුව පතමි.

අරුණ ශාන්ත නෝනිස්
2024.01.31.