යුද්ධයේදී නැති වුණේ මිනිසුන් – ‘සත්‍යලිංගම්’

0
165

Sri Lanka Civil Warයුද්ධයේදී මරා දැමුණේ සිංහල, දෙමල හෝ මුස්ලිම් කවරකු වුවද ඔවුන් සියලු දෙනාම මිනිසුන් යැයි උතුරු පළාත් සභාවේ සෞඛ්‍යය ඇමති පී සත්‍යලිංගම් ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ මියගිය පිරිස් සැමරීමට වවුනියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති අනුස්මරණ උත්සවයක් අමතමින්.

අනුස්මරණ පින්කමේදී මියගිය එල්ටීටීඊ සාමාජිකයින් පමණක් නොව යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන්ද සිහිපත් කරණ බව සත්‍යලිංගම් පළාත් අමාත්‍යවරයා කියා සිටියේය.

යුද්ධයේදී මියගිය පිරිස් අනුස්මරණය කිරීම සඳහා තබා තිබූ ඡායාරූප අතර කැබිතිගොල්ලෑව ප්‍රහාරයේදී සහ මහකෝන්ගස්කඩ ප්‍රහාරයේදී මියගිය සිංහල වැසියන්ගේ ඡායාරූප පෙළක්ද ඇතුලත් කොට තිබීම විශේෂතත්වයක්.

ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩෙයිකලනාදන් යන දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්ද එම අනුස්මරණ උත්සවයට සහභාගි වී සිටියහ.

යුද්ධයේදී දෙමවුපියන්, දරුවන් ඇතුළු ඥාතීන් මියගිය විශාල පිරිසක්ද ඒ අතර වූහ.

‘දේශපාලන විසඳුමක්’

යුද්ධය නිම වී ඇතිමුත් විසඳී නොමැති දෙමළ ජාතිකයින්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුව සහ ජාත්‍යන්තර ප්‍රජාව එක් වී ස්ථීර සාර දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බව මේ අතර උතුරු පළාත් මහඇමති සීවී විග්නේශ්වරන් පැවසුවේය.

මහඇමතිවරයා ඒ බව කියා සිටියේ මුලතිව් වයික්කාලේ ප්‍රදේශයේ යුද්ධයෙන් මිය ගිය වැසියන් අනුස්මරණය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්.

මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ යුද සමරු වැඩසටහන් පැවැත්වීමට එරෙහිව අධිකරණය ලබා දුන් තහනම් නියෝගයට බාධා නොවන පරිද්දෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් අනුස්මරණ උත්සවය පැවැත්වූහ.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු රැසක් සහභාගී වී සිටි අතර වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී ශිවකලා මහේෂ්වරන් සහභාගී වී සිටීම විශේෂත්වයක්.

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වමින් ආගමික වතාවත් වල නියැලුණු දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලු පිරිස යුද්ධයේදී මියගිය සියලු දෙනාට පින් අනුමෝදනා කළහ.

එහිදී අදහස් දැක්වූ සීවී විග්නේශ්වරන් මහඇමතිවරයා කියා සිටියේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ බවයි.

ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදී ඉදිරියටත් පවත්වා ගෙන යාම තුළින් ශ්‍රී ලාංකිකයන්ට නරක නාමයක් අත් වන බවයි මහඇමතිවරයා කියා සිටියේ.

උපුටා ගැනීම
බීබීසී සිංහල වෙබ් අඩවියෙන්
http://www.bbc.com/sinhala/sri_lanka/2015/05/150518_war_ceremonies_north