යුද අපරාධ චෝදනා ලබන අයට දඬුවම් නැත ! IMF සමග ජනපති වික්‍රමසිංහ ඇතිකරගත් ගිවිසුම් දිගටම – අනුර කියයි !

0
161

යුද අපරාධ චෝදනා ලබන කිසිවකුටත් තමන් යටතේ වන ආණ්ඩුවකින් දඬුවම් නොකරන බවට සහතික වන අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම එලෙසම රැකීමට ඉදිරිපත් වී සිටී.

|”වගවීම පිළිබඳ ප්‍රශ්නය ගත්තම, ඒක පලිගන්න ක්‍රමයක් හැටියට නෙවෙයි, කාටවත් දොස් පවරන්න නෙවෙයි, සත්‍යය හෙළිදරව් කරගන්න පමණයි,” යනුවෙන් ජාතික ජන බලවේගයේ (ජාජබ) අපේක්ෂකයා ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා තිබුණි.

හමුදාවට බාරවීමෙන් සහ පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත දෙමළ ජන සමූහයාගේ ඥාතීන් ප්‍රමුඛ උතුරු නැගෙනහිර යුද පීඩිතයන් ඉකුත් පහළොස් අවුරුද්ද පුරාම ඉල්ලා සිටින්නේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකි. එය නොතකා රජය විසින් පත් කරනු ලබන ‘සත්‍ය කොමිසම’ ඔවුහු එකහෙළා ප්‍රතික්ෂේප කරති.

ජාජබ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක යුද පීඩිතයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත්තේ වෙනස් කතාවකි.
“කාටවත් දඬුවම් කරන්න වින්දිතයන්ටවත් ඕනෙ නෑ. ඒගොල්ලන්ටත් ඕනෙ වෙච්චි දේ දැනගන්න විතරයි.”

MW 2331

යුද අපරාධ චෝදනා ලබන හමුදාවකින් විශ්‍රාම ගිය නිලධාරීන්ගේ සහායද ලබන ජාජබ අපේක්ෂකයා සිය ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානියකු ලෙස පත් කරන බවට පලවී ඇත්තේ හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ මෙහෙයුම්වල යෙදී සිටියදී බාල ළමුන්ට ලිංගික අපචාර කළ බව එළිවී පිටුවහල් කරන ලද බලකායකට අණදුන් සෙන්පතියෙකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතිකරගත් ගිවිසුම් නොබිඳ පවත්වාගෙන යමින්, ජනතාව මත පැටවෙන බර අඩු කිරීමේ අපේක්ෂාව ද ජාජබ ජනාධිපති අපේක්ෂකයා වෙතින් පලවී තිබේ.

“අපිට දැන් තියෙන IMF වැඩසටහනින් එලියට එන්න බෑ. මොකද, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් ගැහුවේ රට ආර්ථික වශයෙන් කඩා වැටුනට පස්සෙ. අපි විශ්වාස කරනවා තවත් විකල්පයක් තිබුණයි කියලා. ඒත් දැන් ද්විපාර්ශවීය සහ බහු පාර්ශවීය ගිවිසුම් ඔක්කොම IMF මල්ලට ඔබලයි තියෙන්නෙ.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා ගිවිසුම ආරක්ෂා කරමින් ආණ්ඩුව කරගෙන යාමේදී ජනතාවට ඇතිවන පීඩාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි  අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවා හැරීමෙන් ඔබ්බට ගොස් බලය ගැනීමට අරගලකරුවන් සූදානම් නොවීම නිසා ‘ජනතාව බලාපොරොත්තු වූ වෙනස’ ඉටු නොවූ බව ජවිපෙ නායකයා වැඩිදුරටත් කියා තිබේ.

මුලාශ්‍රය -theleader.lk