රජයේ හමුදා ප්‍රහාරයකින් මියගිය කිලී පියතුමාගේ 15 වෙනි සැමරුම ..

0
515

රජයේ ආරක්ෂක හමුදාවේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පහලොස් වසරකට ඉහත දී ඝාතනය වු මානව හිමිකම් ක්‍රියාධර පියතුමකු වන්නියේදී අනුස්මරණය කර තිබේ.

යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රගාසම්ගේ ප්‍රධානත්වයෙන් වවුනිකුලම් දේවස්ථානයේදී අප්‍රේල් 20 වැනිදා දේව මෙහෙය පවත්වා අනුස්මරණය කර ඇත්තේ මරියම්පිල්ලේ ෂේවියර් කරුණාරත්නම් පියතුමන්ය.

ෆාදර් කිලී යනුවෙන් ගෞරවාදරයට පාත්‍රව සිටි එතුමන් උතුරු නැගෙනහිර ජනතාවට එරෙහිව රාජ්‍යය විසින් සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝන ලේඛණගතකළ මානව හිමිකම් සඳහා වන උතුරු නැගෙනහිර කාර්යාංශයේ (NESOHR) ප්‍රධානියා ලෙස විය.

මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි මීසමේ සේවය කරමින් සිටියදී කිලී පියතුමා 2008 වසරේ අප්‍රියෙල් 20 දා මල්ලාවි සිට වවුනිකුලම් දේවස්ථානයට තම යතුරුපැදියෙන් යන අතරමඟදී ඝාතනය කෙරුනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දුරදිග විහිදුම් බලකාය සැඟවී සිට එල්ල කළ ක්ලේමෝ ප්‍රහාරයකින් බවට විශ්වාස කෙරේ.

දකුණේ ප්‍රගතිශිලි කිතුණු ආගමික නායකයන් සහ කිතුණු සමාජ ක්‍රියාධරයන් හා ඉතා සමිපයෙන් කටයුතු කළ  කිලි පියතුමා ගේ  15 වැනි අනුස්මරණය සදහා කොළඹ, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නියෝජනය කරමින් කන්‍යා සොහොයුරියන් හා සොහොයුරන් රැසක්  එක්ව තිබුණි

වවුනිකුලම් දේවස්ථාන භූමියේ ඉදිකර තිබෙන ෂේවියර් කරුණාරත්නම් පියතුමාගේ ස්මාරකය සමීපයේ රුක් රෝපනය සිදු කිරීමක් ද එම අනුස්මරණයට සමගාමීව සිදු කර තිබේ.

(මුලාශ්‍රය- ද ලිඩර් )