රජ දරුවන්ගේ පවා අකීකරු හිස, ඔහු ඉදිරියේ කීකරු විය

0
1096

IMG-20190905-WA0012

කරණවෑමි  රැකියාව  ඈත  අතීතයේ  සිට  පැවත  එන්නකි.  පෙර  රජදරුවන්ගේ  හිස ,  රැවුල  ආදිය  කපා  ගැනීමේදී   කරණවෑමියා  අත්‍යවශ්‍ය  පුද්ගලයෙක්  විය.  බාබර්  යන නමින්  හඳුන්වන  මෙම  රස්සාව  අතීතයේ   සිට පාරම්පරිකව  පැවත  එන්නකි.  නමුත්  වර්තමානයේදී  සමහර  තරුණ  පිරිස්   මේ  පිළිඳබව  පුහුණුවක්  ලබමින් සහ  තාක්ෂණයද  උපයෝගී  කර  ගනිමින්  එය  මුදල්  සෙවීමේ  ව්‍යාපාරයක්  බවට  පත්කරගෙන  ඇත. තම  පියාගෙන්  උරුමවූ  මෙම  රැකියාව තම  එකම  ජීවනෝපාය  කර ගත්  පුද්ගලයෙකු   අපට  කොච්චිකඩේ  පෝරුතොට  ප්‍රදේශයේදී  හමුවිය.  තමන්ගේ  රැකියාවේ  යෙදෙන  ගමන්ම  ඔහු  අප සමඟ  තමන්ගේ  රැකියාව  පිළිබඳව  කෙටි  කථාබහක  යෙදෙමින්  අදහස්  පළකලේ  මෙසේය.

ඔබේ  පුද්ගලික  විස්තර  ටිකක්  කියන්න  පුළුවන්ද?

මම  සී.  සුනිල්  ප්‍රනාන්දු.  ඉන්නෙ  වෛක්කාලෙ.  දැන්  වයස  අවුරුදු  68 යි.  මගෙ  බිරිඳ  ඈන්  ඔල්වින්  ප්‍රනාන්දු.  අපට  දරුවො  දෙන්නෙක්  ඉන්නවා චානක  සහ  සංජය  කියල.  ඒ  දෙන්නම  දැන්  විවාහකයි. ඒ ගොල්ලොත්  කරන්නෙ  සැළුන්  රස්සාව  තමයි.  ලොකු පුතාගෙ  බිරිඳගෙ  තාත්ත  කරන්නෙත්  මේ  රස්සාව. අපේ  තාත්ත  කළෙත්  මේ  රස්සාව.

කොහොමද   මේ  රස්සාවට   යොමුවුනේ  ?

අපේ  තාත්ත  කොන්ඩ,  රැවුල්  කැපුවට  මම  තාත්තගෙන්  ඒ  ගැන  ඉගෙන  ගන්න  කියල  උනන්දු වුනේ නෑ. මම  වැඩියෙන්  මේ  ගැන  ඉගෙන  ගත්තෙ  බාප්ප  කෙනෙකුගෙන්.  බාප්පට  කොළඹ  ආමර්වීදියෙ  සැළුන්  එකක්  තිබුන.  ඒකෙ  මම  අවුරුදු  8ක්  වැඩ  කලා.  මෙතන  වැඩ  කරන්න  අරගෙන  දැන්  අවුරුදු  20ක්  විතර  වෙනව.  මුලින්  කුලියට  හිටියෙ.  පස්සෙ  සින්නක්කරවම  ලියා ගත්තා. මම  පිරිමි  සහ  කාන්තා  යන  දෙගොල්ලගෙම  කොන්ඩ  කැපීම  කරනවා.   මගෙ කොන්ඩ  කැපීමේ  රස්සාවට  දැන්  අවුරුදු  43ක්  විතර  වෙනව.  ඒ කියන්නෙ  1976  දි  තමයි  පටන් ගත්තෙ.

එදා  මෙදා  ලැබුණු  අත්දැකීම්  කොහොමද?

විවිධ  තරාතිරමෙ  අය  මා ලඟට  එනවා.  මේ  අය  අතර  කලාකාරයෝ,දේශපලකයෝ ව්‍යාපාරිකයො  ඉන්නවා.  ඒ  අයත්  එක්ක  කතාබහ  කරන්නත්  මට  අවස්ථාව  ලැබිල  තියෙනවා.රංජන්  රාමණායක,  ජෙයරාජ්  ප්‍රනාන්දු පුල්ලෙ,   පිලීෂියන්  ප්‍රනාන්දු  පුල්ලෙ,  වැනි  අය  ලොකු  පොඩි  භේදයක්  නැතිව  මගෙන්  කොන්ඩෙ  කපා ගත්තා.  ඒ  කාලෙ  කොළඹ  බාප්පගෙ  සැළුන්  එකේ  වැඩ  කරද්දි  (  ඔක්ස්පඩ්  සැළුන්)   මුණගැහෙනවා  ටෝනි  රණසිංහ,  මිල්ටන්  පෙරේරා  වගේ  අයත්.  ඒ  අයත්  මගෙන්  රැවුල කොන්ඩෙ  කපා  ගත්තා.

ඇයි  වෙන  රස්සාවක්  නොකලේ?

අපිට  ඒ කාලේ  ගොඩක්  ආර්ථික  ප්‍රශ්න තිබුණා.  අපේ  පවුලේ සාමාජිකයො  9දෙනෙක්  හිටියා.  අම්මයි  තාත්තයි  එක්ක 11යි.  තාත්ත  බොහොම  අමාරුවෙන්  තමයි  පවුලෙ  නඩත්තුවට  වැඩ  කරේ.  ඒ නිසා  අපිට  ඉගෙනගන්න  හැකියාවක්  තිබුනෙ නෑ.ඒ නිසා  දෑතේ  රස්සාවකට  කියල  පුරුදු  වුනේ  මේක  තමයි.

ඒකාලේ  සහ  මේ කාලේ  ලැබෙන  ආදායම…

1976දි  කොන්ඩයක්  කපන්නෙ  රු  1.50ට. දැන්    කපන්නෙ  150/  න්  ඉහළ.  අද  ඉතින්  එදාට  වඩා  ජීවත්වීම  අමාරුයි.  නමුත්  අපි  ගන්න  මුදලට  සාධාරණයක්  කරන්නනම්  එන  අයට  තමන්  බලාපොරොත්තු  වෙන  ආකාරයට  කොන්ඩය  සහ  රැවුල  කැපිය  යුතුයි.  ඒ නිසා  තමයි  ඈත  ඉඳල  පවා  මිනිස්සු  මා  ලඟට  එන්නෙ.

සුනිල්  වැනි  දිග  ඉතිහාසයක්  ඇති  මේ  රස්සාව  කරන  අය  කොන්ඩෙ  කැපීමට  අමතරව  කරන  තවත්  සේවාවක්  තියෙනවා.  බාබර්  සාප්පුව  කියන්නෙ  ඒ කාලෙ  තොරතුරු  මධ්‍යස්ථානයක්.  තොරතුරු  ලබා ගන්නව  වගේම  ඒවා  බෙදාහරින  තැනක්. විවිධ  පැතිවලින්  එන  දැනුම  කොන්ඩය  කපන  අතර  සාකච්ඡා වෙනව.  ඒවායින්  ලබන  දැනුම  නැවත  බෙදන්නටත්  සමහර  බාබර්ලා  ඉතා  දක්ෂයි.  මෙම  ස්ථානයට  පැමිණ  මෙහි  තබා  ඇති  පත්තරය  නොකියවන  කෙනෙක්  නෑ. ඒ නිසා  මේ  තැනට  එන කෙනා  කොන්ඩය  කපල  පැත්තකට  දැම්මට  පිටවෙන්නෙ  ඔළුවට  අළුත්  දැනුමකුත්  එකතු කරගෙන.

සටහන – සැම්සන් ඥානසිරි