රටම හඩවා කොහි සැගවුණිදෝ මහරජාණෙනි…!

0
107

දළපුට්ටුවා
කුංචනාද වංශකතාවේ ඔබ මහා තේජවන්තයෙකි… විටෙක නපුරු වුනද හුදු මහත් හැම මිනිස් සිතකම ඔබ නමින් රැදී තිබුණේ මහා ආදරයකි… එහෙත් ඒ හැම හදවතක්ම හඩවා ඔබ අද කොහේදෝ සැගව ගොසිනි… ගල්ගමුවේ උරුමය වූ ඔබ ගල්ගමුව කියූ සැනින් බොහෝ දෙනෙකුට මතක් වූ ඔබ යළිත් මේ වන්නියේ පස ගසන්නේ නැද්දැයි බොහෝ දෙනෙකු අසති…

ඒත් ගරු මහා අැතිදුනි…

හදවත කිසි ලෙසකින්වත් ඔබ අප හැරදා ගියා යැයි පිළිගන්නට සූදානමක් නැත. බොහෝ පාපතර නරුමයින්ගේ වේදනාබර වෙඩි උන්ඩ සිය ගණනක් ඔබේ ශරීරයේ හොවාගෙනත් ඔබ ජීවත් වූයේ මේ ගල්ගමුව පොළවට ඔබ අවැසි නිසාවෙනි. දෑස් දෙකම අදව තිබුණත් ඔබේ අනෙක් සගයින් ඔබ සුරක්ෂා කළේ ඔබ නොමැතිව ඔවුන්ටද ජීවත් විය නොහැකි නිසාවෙනි… එහෙත් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඔබ ආ ගිය අතක් නැතැයි අද මුළු රටම කම්පා වෙයි… ඔබ නොදන්නා නමුත් මේ ගල්ගමුව පොළෝ තලයත් ඔබ ⁣නැති සොවින් කම්පා වී වැළපෙයි… ඒ ඔබේ ගාම්භීර ගමන් විලාසයෙන් හැඩ වූ වෙල් ඉපණැලිවලටත් ඒ අඩුව දැනෙන නිසාවෙනි…

පසුගිය ජූලියේ ගල්ගමුව, ගොජරාගම වෙල් යායේ ඔබේ සුන්දර දසුන් බලා රටේ බොහෝ දෙනෙකු සතුටු වෙද්දී ඒ සියලු දෙනාම ඔබට කොතරම් ආශිර්වාද කළාදැයි මම දනිමි. ඒ සියල්ලම ඔබට සෙත් පැතූ අයුරු හරි අපූරුය. ඒත් දැන් දැන් මහා පාපයකින් මුළු ගල්ගමුවම ඇවිලී ගියා සේ හැගේ… දරාගත නොහැකි වේදනාවෙන් තවමත් ඔබම ජීවමානව දකින්නට මේ සියලුම මිනිස් හිතකින්ම ඔබට ආශිර්වාද ලැබෙන බව නොරහසකි… කැලෑවල් පීරමින් ඔබව සොයන්නට මේ තරම් වෙහෙසෙන්නේ ඔබ නැති අඩුව මහා ඉහළින් දැනෙන නිසවෙනි…. එහෙත් ඔබේ දළ සගළ මේ ලෝකයේ අමන තිරිසනුන් උදුරා ගත්තේ නම් උනුන්ද මේ පොළොවට නිකම්ම පස් විය යුතු නැත… අපි ඔබට ආදරය කළේ රටටම ඔබ වටිනා සම්පතක් වූ නිසාවෙනි.

එසේනම් ගරු ඇතිදුනි…

කුංචනද පතුරා… සුවිසල් තෙජස වපුරා…. යළිත් වඩිනු මැන මේ ගල්ගමුවේ උරුමය රැගෙන….

සටහන
ක්‍රිෂාන් අරෝෂණ මාන්නප්පෙරුම
(2017-11-27 , 10.01pm)