රන්ජන් ජනවාරි 21 පාර්ලිමේන්තුවට ! රජයේ ලොක්කන් රැසකගෙ හඬපටිත් එළියට ?

0
74

රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද(16) දැනුම් දී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මන්ත්‍රීවරයකු සතු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයිද පැවසේ.

ඒ අනුව, ජනවාරි 21වනදා සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂණ කටයුතු සලසන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා මේ මාසයේ 29 වැනි දින දක්වා බන්ධනගාර ගතකර සිටී.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ පිරිසකගේ හඩපටද රන්ජන් රාමනායක මහතා සතුව ඇති බවත් ආණ්ඩුව තවදුරටත් මේ හඬපට සෙල්ලම කරගෙන යන්නේ නම් ඊට ප්‍රති උත්තර දීමට රන්ජන් රාමනායක මහතා සූදානමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරඇති බව lanktruth වෙබ් අඩවිය ඊයේ සදහන් කර තිබුණි. එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය.

බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හමුවීමට ඊයේ (16) හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ සහ පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරු බන්ධනාගාරයට ගොස් තිබූ අතර රන්ජන් රාමනායක මහතා මුනගැසී නැවත පැමිණෙන අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් හේෂා විතානගේ මහතා මේ බව සඳහන් කර තිබිණි.

හැට නව ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දුන්නේ මෙවැනි සෙල්ලම් බැලීමට නොවන බවත් බඩු මිල වැඩිවෙමින් ආර්ථික දුෂ්කරතා මතුවෙමින් ඇති මොහොතක එම තත්වය වසා ගැනීමටද මෙම හඬපට යොදා ගනිමින් සිටින බවත් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසා තිබේ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ රන්ජන්ගේ හඬපට හරහා රන්ජන්ගේ නිරුවත මෙන්ම රට කරනවන තැන්වල නිරුවත පෙනෙන්නට ඇති බවය.

මෙම හඬපට හරහා රන්ජන් රාමනායක විනාශ කිරීමේ වුවමනාවක් කණ්ඩායමකට ඇති බවත් අද රට තිබෙන තැන කොතැනද යන්න තේරුම් ගැනීමට හැකි වී තිබෙන බවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.
මැතිවරණයක් පැමිණෙන සමයකදී එක් පුද්ගලයෙකුට පහර ගසමින් සිටින්නේ ඇතැමෙකුගේ හෙළුව වසා ගැනීමට බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.