රස ගුණ සපිරි  ‘ඩොන්ගා ‘ වාරේ ඔන්න ඇවිල්ලා

0
485

      ඔන්න දැන් ඩොන්ගා වාරේ ඇවිල්ලා.  රඹුටන් සහ දූරියන් වාරේත්  එක්කම තමයි ඩොන්ගා වාරේත් එන්නේ. ඒ කියන්නේ හැම අවුරුද්දකම ජූලි සහ අගෝස්තු මාසවල තමයි ඩොන්ගා වාරේ  පටන් ගන්නේ. ඩොන්ගා කියලා කියන්නෙම ප්‍රණීත පළතුරක් . ඔන්න මේ දවස් වල නම් මීගමුවේ ප්‍රධාන පාරවල් අයින් වල වෙනත් පලතුරු වගේම මේ ඩොන්ගා කියන මේ  සුවිශේෂී පලතුරු ජාතියත් දැන් විකුණන්න තියෙනවා. හුඟක් අය මේ වෙද්දි මේ පළතුර කාලා මේවායේ  රස බලලත් ඇති ඒ වගේම තවත් බොහෝ පිරිසක් තවම මේ පළතුර කාල රස බලලා නැතුවත් ඇති. සමහර ඩොන්ගා පලතුරු පැණි රසයි. සමහර ඩොන්ගා ඇඹුල් රසයි. අපි මේකට ඩොන්ගා කියලා කිව්වට , සමහර ප්‍රදේශවල අය මේකට “ඩොන්කා” කියලත් කියනවා..

ඉතින් අපිත් මීගමුව පුරා මේ ඩොන්ගා  විකුණන්න තියෙන තැන් කිහිපයක් ගැන හොයලා බැලුවා.  එහෙම යද්දි තමයි අපිට චමිලව මුණගැහුනේ. මේ දවස්වල හලාවත- කොළඹ  පාරේ මීගමුව, කට්ටුව දේවස්ථානය අසල චමිල තමයි ඩොංගා  විකුණන්නේ. චමිල  දැන් සෑහෙන කාලෙක ඉඳලා දිනපතා මොරටුවේ ඉඳල  මීගමුවට ඇවිල්ලා, මීගමුවේ එක එක පැතිවල  පලතුරු වර්ග  විකුණන එක තමයි රැකියාවට කරන්නේ ඔහු වැඩිපුරම ඉන්නේ මීගමුව පොඩි පන්සල කිට්ටුව. කාලෙන් කාලෙට එක එක පළතුරු වර්ග මීගමුවට ගෙනල්ලා චමිල වෙළඳාම් කරනවා. ඉතින් මේ දවස්වල චමිලා වැඩිපුරම ගේන්නේ ඩොන්ගා. මේ දවස්වල චමිල ඩොන්ගා ගෙන්නේ පෑලියගොඩ ඉඳලා. ඒ කියන්නේ දකුණු පළාතේ ඉඳලා ඩොන්ගා අරන් එන තොග වෙළෙන්දෝ සියලුම දෙනා එන්නේ පෑලියගොඩට. ඉතින් පොඩි පොඩියට වෙළඳාම්  කරන චමිලලා වගේ අය පෑලියගොඩට ගිහින් තමයි ඩොන්ගා අරගෙන එන්නේ. සාමාන්‍ය ඩොංගා ගෙඩියක් රු.10 ත් 20 අතර ගණනක් වෙනවා කියලයි චමිල කියන්නේ. ඔහු කියනවා ඩොන්ගා කිලෝ එකක් වගේ ගන්නවනම් රුපියල් 200 ත් 250ක් විතර වගේ වෙනවලු.
ඩොන්ගා වැවෙන්නේ ලංකාවේ දකුණු පළාතේ, .විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ තමයි ඩොන්ගා ගස් වැඩිපුරම තියෙන්නේ. මේ වෙද්දි මාතර දිස්ත්‍රික්කයේත් සමහර ප්‍රදේශවල ඩොන්ගා  තියෙනවා. සමහරු නම් කියනවා, මේක සෑම ප්‍රදේශයකම වගේ වවන්න පුළුවන් පලතුරු ගහක් කියලා. මේ ඩොන්ගා පලතුරු ගෙඩිය අපේ රටේ තියෙන මැන්ගුස්ටින් ගෙඩියට සමාන නිසා සමහර ප්‍රදේශවල අය  මේ ඩොන්ගා වලට ” වල් මැන්ගුස්ටින් ” කියලත් කියනවා. ඒත් ඩොන්ගා ගෙඩිය හුඟක්ම සමාන වෙන්නේ ගොරකා ගෙඩියට. ඩොන්ගා පළතුර කුරුල්ලන්ට කන්න අමාරුයි. ඒකට හේතුව ඩොන්ගා ගෙඩියේ පොත්ත හුඟක් හයියයි. ඝනකමින් වැඩියි. ඒ හන්දා ඩොන්ගා වැඩිපුරම කන්නේ වඳුරො කියල තමයි ගාල්ල පැත්තේ අය කියන්නේ. ඩොන්ගා වලට ලැදි බොහෝ දෙනෙක් කියන්නේ ඩොන්ගා ගෙඩිය පිහියකින් කපලා කනවට වඩා පොළොවේ ගහලා හරි පලාගෙන කාපුවහම තමයිලු එකේ රසය වැඩිපුර දැනෙන්නේ.

ඩොන්ගා ලංකාවේ සරුවට වැව්නට මේක ලංකාවට පමණක් ආවේණික පළතුරක් නෙවෙයි.  Melicase ශාක කුලයට අයත් ඩොන්ගා ගිනිකොන දිග ආසියානු රටවල සහ උතුරු ඕස්ට්‍රේලියාාව ආදී රටවල  වැවෙන පලතුරක් විදිහට තමයි හඳුන්වන්නේ.
ඩොන්ගා  ප්‍රණීත රසයකින් යුත් පලතුරක් වගේම ,උෂ්ණාධික පළතුරක්. . ඒ කියන්නේ ඇඟට සැර පලතුරක්. සාමාන්‍යයෙන් අර කතාවකුත් තියෙනවනේ ඇඟට ගොඩක් ගුණ දේවල් ඇඟට සැරයි කියලා. ඒ වගේ තමයිලු ඩොන්ගා කියන පළතුරු  ජාතියත්. සාමාන්‍ය ඩොන්ගා  ගෙඩියක මඳ හතරක් පහක් පමණ තියෙනවා. ඩොන්ගා ගැන ටිකක් විස්තර හොයාගෙන  යද්දි ඩොන්ගා ගැන ගොඩක් වටිනා විස්තරත් අපට දැනගන්න ලැබුණා. ඩොංගා මද ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 80-90 ත් අතර ප්‍රමාණයක් තියෙනවා කියලත් දැනගන්න ලැබුණා.මිනිස් සිරුරේ  නහරවල රැඳෙන කොලෙස්ටරෝල් (LDL) අවම කිරීමේ ශක්තියක් ඩොන්ගා වල තියෙනවා. ඒ වගේම දියවැඩියා තත්ත්වය පාලනය කරන්න සහ අවම කරන්නත්, පිළිකා ශෛල සෑදීම වැළැක්වන්න, ශරීරයේ බර පාලනය කිරන්න, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න,, ඒ වගේම දත් වල අස්ථි ශක්තිමත් කරන්නත් රක්තහීනතාවය වැළැක්වීමේ ගුණයන් වැනි ශරීරයට ඉතාම හිතකර තත්වයක් ඩොන්ගා ආහාරයට ගැනීම තුළින් ලැබෙන බව  ආයුර්වේද වෛද්‍ය පත පොතේ සඳහන් වෙනවා. එමෙන්ම පාචනය සහ මල බද්ධයට ප්‍රතිකාරයක් විදිහටත් ඩොන්ගා ආහාරයට ගන්නවා කියලා ආයුර්වේද පත පොතේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මේ කොහොම වුනත් මාස ගණන් තිස්සේ පිටරටින් ගේන එක එක කල් තියාගන්න රසායන වර්ග දාලා වෙළඳපොළට ගේන අධික මිල ගණන් වලින් යුතු පලතුරු ආහාරයට ගන්නවට වඩා අපේම රටේ හැදෙන ශරීරයට ගුණදායක රසවත් මේ ඩොංගා වැනි නැවුම් පලතුරු ආහාරයට ගැනීම   අපේ යහපත් ශරීර සෞඛ්‍යයට ගොඩක් හිතකරයි කියන එක තමයි අවසානයේදී මතක් කරන්න තියෙන්නේ.

ඉතිං ඔයාලා තාමත් මේ ඩොන්ගා කියන මේ සුවිශේෂී පලතුර රස බලලා නැත්නම් මේ වාරේ කොහොම හරි ඉදුණු රසවත් ඩොන්ගා  ගෙඩියක රස බලන්න අමතක කරන්න එපා.