රු 38 ක් තිබූ පිං කැටයක් නිසා නිකරුණේ දඬුවම් විඳි සම්පත්

0
83

new-1 sampath new
සම්පත් පෙරේරා මීගමුව කඩොල්කැලේ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි. 2009 වසරේ 07 වෙනි මාසයේ 29 වෙනි දින කදිරාන  පල්ලියට ගොස් යාඥා කර පිටතට පැමිණීමේදී ඔහු නොසිතූ නොපැතූ ලෙස අවසනාවන්ත සිදුවීමකට මුහුණදෙන්නට ඔහුට සිදුවිය. එනම් පල්ලියේ පිටත සිට පැමිණි  පුද්ගලයෙක්  ඔහුට යකඩ පොල්ලක් ගෙන පහර දෙන්නට වීමයි. ඒම ස්ථානයට පැමිණි තවත් ගම්වාසීන් කීපදෙනෙකු විසින් ද සම්පත්ට පහර දුන්හ. මුලින්ම පහර දුන් පුද්ගලයා හේතුව ලෙස පවසා ඇත්තේ පල්ලියේ කානික්ක කැටය කවුරුන් හෝ විසින් කඩා මුදල් සොරකම් කර ඇති බවත් එය සිදුකර ඇත්තේ සම්පත් බවත්ය. එම ස්ථානයේ සිටි පිරිස කකුල කැඞී ලේ ගලමින් සිටි සම්පත්ව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකරයා බාර දුන්  අතර මේ සම්බන්ධයෙන් සැකකරන බවට තවත් අවු: 15ක පමණ පිරිමි ළමයෙකුව ද පොලිසියට ඉදිරිපත්කර ඇත.
කදිරාන පල්ලිය අවට පිරිසක් විසින් පොලීසියට බාර දුන් සම්පත්ට එදින රාත‍්‍රියේ දී පොලිස් නිලධාරියෙකුගෙන් ද හොඳ හැටි ගුටි මුරයක් ලැබුණ බව සම්පත් විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලේ ද සඳහන් කර ඇත. තමාට එසේ පහරදුන් පුද්ගලයා මීගමුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක බවද තමා පසුව දැනගත් බව සම්පත් පවසයි. පසුව පොලීසිය විසින් කරන ලද පැමිණිල්ලට අනුව සම්පත්ට දින 10 ක් රිමාන්ඞ් බන්ධානාගාරගතව සිටීමට නියම වුවත් ඔහුගේ පාදය බිඳී ඇති බැවින් ඔහුව පොලිස් ආරක්ෂාව ඇතිව රෝහල්ගත කරන ලදී. පසුව ඇප  මත මුදාහැරුණ සම්පත්ට පොලීසිය විසින් පැවරූ නඩු විභාගය 2009-08-10 පැවැත්විණි. එදින  15 හැවිරිදි අනෙක් සැකකරුවා කැටය කැඩූ බවට වරද පිළිගන්නා ලදී. එහිදී එම කැටයේ තිබුණේ රු 38ක මුදලක් බවත් ඔහු පවසා ඇත. එම නඩු විභාගයේ දී ගරු අධිකරණය විසින් සම්පත්ට පල්ලියේදී ඔහුට පහරදුන් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.
සම්පත්ට මීගමුව පොලීසිය විසින් සිදුකළ  කළ පහරදීමට විරුද්ධවද පසුව සම්පත්ගේ පාර්ශවයෙන් පොලීසියට පැමිණිලි  කළ අතර ඒ සඳහා මීගමුව පොලීසිය විසින් කිසිඳු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඒ අතර මීගමුව පොලීසිය විසින් සම්පත්ට දේවස්ථානයේදී පහරදුන් පුද්ගලයන්ගෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය. ඒ 2011 -08-15 වන දිනයි. පහරදී කකුල කැඞීම වෙනුවෙන් වන්දිය රු 20,000 ක මුදලක් චූදිතයාට ගෙවන්නට වූ අතර පල්ලියේ පිංකැටය කැඞීමට සැකකරුවෙකු ලෙස ඉදිරිපත්වූ 15 හැවිරිදි  පුද්ගලයා  සම්බන්ධව  නඩු විභාගය නැවත ඔක්තෝම්බර් 10 වෙනිදාට යෙදිණි. සම්පත්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමුකළ පැමිණිල්ල ඉදිරියේදී විභාග වීමට නියමිතය. දේවස්ථානයක පිංකැටයක තිබූ රු 38 ක් නිසා නොසිතූ ලෙස මුහුණ දීමට සිදුවූ මෙම අභාග්‍යසම්පන්න සිදුවීමෙන්  උසාවියෙන් වරදකරු වීමට පෙර සමාජයෙන් මෙන්ම පොලීසියෙන්ද අමානුෂික ලෙස පහරකෑමට හා සොරෙකු යැයි අපහාස ලැබීමට ලක්වූ සම්පත්ව අද සියලූ චෝදනා වලින් නිදහස්ය. සැකකරුවෙකුට යුක්තිය ඉටුකිරීමට නොදන්නා පොලීසි මෙන්ම සමාජයක් ද හමුවේ සම්පත්ලා වැනි නිරායුද අසරණුන් තව කෙතෙක් නම් මේ ලෙස පීඩා විඳිනවා ඇත්ද?
නඩුව අවසන් වූ පසු සම්පත් සහ ඔහුගේ මව තමන් අසරණ වූ මොහොතේ ඔවුන්ව නීතිය පිළිබඳව දැනුවත් කළ මෙන්ම ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සංවිධානය වන Right to life සංවිධානය වෙත  අනන්තවාරයක් ස්තූති කළහ. සාමාන්‍ය මිනිසුන් ලෙස නීතිය හමුවේ තමන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව තමන් ලද  දැනුම පිළිබඳවත්, සමාජය ඉදිරියේ සොරෙකු යැයි නාමයෙන් මිදීමට ඉඩ ලැබීම ගැනත් උපන් ආඩම්බරයෙන් හා හද පිරි සතුටින්  සම්පත් දැන් ජීවත්වෙයි. එමෙන්ම ඔහුගේ මවට ද තම පුතා සියලූ චෝදනා වලින් නිදහස් වීම පිළිබඳව ඇත්තේ ඉමහත් සතුටකි, ආඩම්බරයකි.

සඳමාලි නිරාෂා