රූ ගැන්වූයේ Phone එකෙන් දිග විනාඩියයි- ජාත්‍යන්තර සම්මාන දිනූ චිත්‍රපටයක්

0
86

නම – පාරමිතික

සිනමාකරු – අමිල සී. කුමාරසිංහ

Sri-Lanka-05-npr

දිනෙන් දින සෑම ක්ෂේත්‍රයකම සිදුවන්නාවූ අඛණ්ඩ තාක්ෂණික වෙනස්වීම්, මිනිස් සිත් සන්තාපනයට ඉවහල්වන්නා වූ සිනමා ක්ෂේත්‍රතය උදෙසාද පොදු වන්නාවූ ලක්ෂණයකි. සිනමාපටයක් රූගත කිරීමේ සිට තිරගත කරලීම උදෙසා වූ සමස්ත කි‍්‍රයාවලිය තුළ , අතීතයේ සිට මේ දක්වා සිදු වූ තාක්ෂණික විප්ලවය හේතුකොටගෙන සිනමා ප්‍රේක්ෂකයා ලද ආස්වාදය සුළුපටු නොවේ. මි.මී16, මි.මී35 කැමරාවේ සිට ජංගම දුරකථනය දක්වා සිනමා කැමරාකරණය විහිද ගියේ පෙරකී තාක්ෂණික විප්ලවයේ ප්‍රබලත්වය ලොවට පසක් කරමිනි.

ලෝක සිනමාවේ සිදුවන්නාවූ යම් තාක්ෂණික වෙනස්වීමක් ශී‍්‍ර ලාංකේය සිනමා ක්ෂේත්‍රයය විසින් අවශෝෂණය කරගැනීම ප්‍රමාදව සිදුවන්නාවූ දෙයක් බව සත්‍යයක් වුවද, එවැනි තාක්ෂණික ක්‍රමවේදයක් අත්පත් කරගැනීම තුළින් ශී‍්‍ර ලාංකේය සිනමාකරුවන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන්හීදී දක්වන්නාවූ කුසලතාවය ප්‍රශංසා ජනකය. එවන් සිනමා තාක්ෂණික විප්ලවයක් තුළින් නිසි ථල ප්‍රයෝජන භුක්තිවිදීමට සමත් වූ නවතම ශී‍්‍ර ලාංකේය යොවුන් සිනමාකරුවා වන්නේ අමිල සී. කුමාරසිංහය. ඒ, ජංගම දුරකථන ආශ්‍රයෙන් රූපගත කළ කෙටි සිනමාපට උදෙසා ප්‍රංශයේ පැරීස් නුවර පැවති 11 වෙනි මොබයිල් සිනමා උළෙලේදී, රටවල් 70ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෙටි සිනමාපට 764ක් අබිබවා යමින් උළෙලේ ජන අකර්ෂණීයම සිනමාපටය ලෙස මිලියන 2.4ක සිනමා ප්‍රේක්ෂක ඡන්දයෙන් කිරුළු පැලඳීමයි. එකී සම්මානය , 69 වසරක ශී‍්‍ර ලාංකේය සිනමා ඉතිහාසයේ කුමන හෝ සිනමාධාරාවකට (දීර්ඝවෘත්තාන්ත/වාර්තා/කෙටි) අයත් වූ ශී‍්‍ර ලාංකේය සිනමාපටයක්, ජාත්‍යන්තර සිනමා උළෙලකදී මිලියන ගණනක ජනතා ඡන්දයෙන් කිරුළු පැළඳී ප්‍රථම සහ එකම අවස්ථාව ලෙසින් සිනමා ඉතිහාසයට එක්වේ.

අමිල සී. කුමාරසිංහ විසින් පෙරකී විශිෂ්ට ජයග්‍රහණයට හිමිකම් කීවද , පෙරළා සිය මව්බිමේ විදයුත් හා මුද්‍රිත මාධ්‍යයන් තුළින් නිසි අවධානය ඒ සඳහා යොමු නොවීම කණගාටුවකට තුඩු දෙන්නකි. එනමුදු ශී‍්‍ර ලාංකේය සිනමාව වෙනුවෙන් සැමදා පෙනී සිටි ජාතියේ සිනමා පුවත්පත සරසවිය ඒ පිළිබඳව නිසි පරිදි වාර්තා කිරීමට පසුබට නොවීය. තවත් වසර ගණනාවකින් ශී‍්‍ර ලාංකේය සිනමාවේ ප්‍රබල සිනමාකරුවකු බවට පත්විය හැකි අමිල සී. කුමාරසිංහ නම් යොවුන් සිනමා නිර්මාණවේදියා පළමුවරට සරසවිය පුවත්පත සමග පැවැත්වූ සංවාද සටහන මෙසේ දිග හැරේ.

අමිල.. ඔබ සිනමාවේ ‘අ’ යනු ‘ආ’ යනු කියූ ඔබේ පළමු සිනමා නිර්මාණයෙන්ම අපි මේ සංවාදය අරඹමු..

මම මගේ පළමු කෙටි සිනමාපටය නිර්මාණය කරන්නේ 2013 වර්ෂයේදී . ඒ ‘මාරයා’ නමින්. නමුත් ඒ සිනමාපටය කිසිඳු සිනමා උළෙලකට ඉදිරිපත් කිරීමේඅරමුණ පෙරදැරිවවමා විසින් නිර්මාණය කරපු සිනමාපටයක් නොවේ එය හුදෙක්ම මා තුළ බොහෝ කාලයක් පුරාවට පැවති සිනමාපටයක් නිර්මාණය කිරීම නම් සිහිනය සැබෑ කරගැනීමක ප්‍රතිඵලයක් පමණයි.

එසේනම් ඔබ ජාත්‍යන්තර කිත් පැසසුම් ලද ‘පරාමිතික’ සිනමාපටය ඔබේ දෙවැනි සිනමා නිර්මාණය

ඔව් එය මගේ දෙවැනි කෙටි චිත්‍රපටය. නමුත් දේශීය හෝ විදේශීය සිනමා තරඟාවලියක් නියෝජනය කල මගේ පළමු සිනමාපටය වන්නේ ‘’පරාමිතික’’යි.

ජාත්‍යන්තර ඇගයීම් ලැබීමට පෙර ‘පරාමිතික’ ලංකාවේදී සම්මානයට පාත්‍ර වෙනවා

2015 වර්ෂයේ කැලණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කල ප්‍රතිබිම්බ කලා උළෙලට (Image Arts Festival- iaf) ජංගම දුරකථන උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද කෙටි සිනමාපට උදෙසා වූ තරඟ අංශයක් ඇතුලත්වුවා. එහිදී සියලුම සිනමාපට අබිබවායමින් උළෙලේ ජයග්‍රාහී සිනමාපටයට හිමි සම්මානය හිමිවන්නේ මගේ සිනමා නිර්මාණයට. ඒ ‘පරාමිතික’ ලද පළමු සම්මානය. දෙවනුව 2015 වසරේ දෙසැම්බර් මාසයේ ප්‍රංශයේ පැරීස් නුවර පැවති 11 වෙනි මොබයිල් සිනමා උළෙලේදී මිලියන 2.4ක සිනමා පේ‍්‍රක්ෂක ඡන්දයෙන් උළෙලේ පේ‍්‍රක්ෂක සම්මානය ‘පරාමිතික’ සිනමාපටයට හිමිවුවා. ඒ මගේ සිනමා නිර්මාණය මෙතෙක් ලද විශිෂ්ටතම සම්මානය මෙන්ම මා ලද පළමු අන්තර්ජාතික සිනමා සම්මානය. ඊට අමතරව, බ්‍රසීලයේ පැවති මොබ්ග්රැලෆියා මොබයිල් සිනමා උළෙලේදී Mobgraphia- Mobile Film Festival) වාර්තා කෙටි සිනමාපට ඛාණ්ඩයේ තරඟකාරී අවසන් වටයට සුදුසුකම් ලද සිනමාපට අතරට එක්වීමට ‘පරාමිතික’ සිනමාපටයට හැකිවුණා.

වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව සුවිශේෂී ලෝක අවධානයක් පැරීස් මොබයිල් සිනමා උළෙල වෙත 2015 වර්ෂයේදී යොමු වෙනවා

ඔව් , එයට ප්‍රධාන හේතුව වුයේ ලෝක මිහිකත සමුළුව මෙවර ප්‍රංශයේ පැරීස් නුවර පැවැත්වීම හා ඊට සමගාමීව පැරීස් මොබයිල් සිනමා උළෙල සංවිධානය වීම. 11 වෙනි වරට පැවති සිනමා උළෙලේ මෙවර තේමාව වුයේ මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් සිදුවූ කාලගුණික විපර්යාසයන් හා ඒ තුළින් මිහිතලය වෙත සිදුව ඇති බලපෑම. මේ නිසා ලොව පුරා මිලියන 20කට ආසන්න සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙවර අන්තර්ජාලය හරහා මෙන්ම උළෙලට සහභාගීවීම තුලින්ද මෙම සිනමා උළෙලේ සිනමාපට නරඹා තිබුණා.එම නිසා වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව ලොවපුරා සිනමා ප්‍රේක්ෂකයන් මෙවර සිනමා උළෙල වෙත දක්වන ලද අවධානය ඉතා ඉහළ මට්ටමක පැවතුනා.

මෙහිදී උළෙලේ අකර්ෂණීයම සිනමාපටය වන්නේ ‘’පරාමිතික’’

ඇත්තෙන්ම මෙවර උළෙලේ වැඩිම අවධානය දිනාගත් සම්මානය බවට පත්වුනෙත් ප්‍රේක්ෂක සම්මානය. අන්තර්ජාලය හරහා එක් ප්‍රේක්ෂකයෙකුට එක් වලංගු ඡන්දයක් පමණක් භාවිතා කල හැකිවෙන පරිදි ප්‍රේක්ෂකයන්ගේ ඡන්ද විමසීම වෙනුවෙන් ඔවුන් යොදාගත් ක්‍රමවේදය ඉතාම ඉහළ තාක්ෂණයකින් හා විනිවිදභාවයකින් යුක්තවුණා. පැරීස් මොබයිල් සිනමා උළෙල ඉතිහාසයේ මිලියන 2.4ක් වැනි සුවිසල් ප්‍රේක්ෂක මනාපයකින් උළෙලේ ප්‍රේක්ෂක සම්මානය දිනු ප්‍රථම සිනමාපටය බවට පත්වීමට ‘’පරාමිතික’’ සිනමාපටයට මෙහිදී හැකිවුණා.

සිනමා උළෙලේදී බොහෝ විචාරක සහ ප්‍රේක්ෂක මතය වුනේ උළෙලේ හොඳම සිනමාපටය හිමි සම්මානයත් ඔබේ සිනමාපටයටම හිමිවේවී කියා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවයට පෙර මෙන්ම ඉන්පසුවත් බොහෝ සිනමා විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ මතය වුයේ එයයි. නමුත් උළෙලේ හොඳම සිනමාපටය හිමි සම්මාන හිමිවුනේ ප්‍රංශ ජාතික සිනමාපටයකටයි.

ලොවක් ආකර්ෂණය කළ ‘පරාමිතික’, ජංගම දුරකථනයකින් නිර්මාණ කල හා විනාඩියක ධාවන කාලයකට සීමා වූ සිනමාපටයක්

ඔව්, මෙම සිනමාපටය රූපගත කලේ‘I Phone 6 Plus’  ජංගම දුරකථනයේ කැමරාව උපයෝගී කරගනිමින්. සිනමාපටය රූපගත කරනවට වඩා මම මුහුණ දුන් අසීරුම කාර්යය වුනේ සිනමාපටයේ සංස්කරණයයි. රූපගතකිරීම් අවසාන වනවිට විනාඩි 45ක් පමණ ධාවන කාලයකට සරිලන වීඩියෝ ක්ලිප්ස් මා සතු වුනා. නමුත් සිනමා උළෙලේ තේමාවට සරිලන පරිදි හා පේ‍්‍රක්ෂකයාට පහසුවෙන් වටහාගත හැකි වන පරිදි, එම ක්ලිප්ස් විනාඩියක ධාවන කාලයක් දක්වා අඩු කිරීම උදෙසා සුවිශේෂී වෙහෙසක් දරන්නට සංස්කරණ ශිල්පියා ලෙසින් මාහට සිදුවුණා.එනමුදු , ප්‍රේක්ෂකයන්ගෙන් සහ ජූරියෙන් ලද ප්‍රතිචාර අනුව මට හිතෙනවා මම එම කාර්යය සාර්ථකව ඉටුකර ඇති බව.

මෙකී ජයග්‍රහණය පිටුපස ඔබට සවියක් වූ පිරිස බොහෝයි

පළමුවෙන්ම, සිනමාපටයේ ඇතුළත් වූ එකම චරිතයට පණපෙවූ හසිත කුලතුංගගේ කැපවීම සිහිපත් කළයුතුමයි. ඊට අමතරව කැමරාකරණයෙන් දුමින්ද්රස නතාෂ් පීරිස්, ශබ්ද සහ සංගීත සංයෝජනයෙන් පසන් ලියනගේ , සිනමා තිර රචනයෙන් ධනංජය මධුසංක, නිශ්චල ඡායාරූපකරණයෙන් මිලින්ද වීරසේකර, පිටපත් පරිවර්තනයෙන් හා නැවත ප්‍රතිරචනයෙන් පුර්ණිමා ගුණසේකර හා දුලිත් පතිරගේ මෙයට එක්වූවා.

ජාත්‍යන්තර සම්මාන දිනූ ඔබේ ඊළඟ පියවර

මම සිනමාවට ආගන්තුකයි. නමුත් වසර 9කට ආසන්න කාලයක් මම දෙස් විදෙස් වෙළඳ දැන්වීම් සහ රූපවාහිනී වැඩසටහන් ආශ්‍රිතව ග්‍රැෆික්, දෘශ්‍ය ප්‍රයෝග හා ති‍්‍රමාණ සජීවිකරණ ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා. ඉතින්, මම එයින් ලබා ගත්ත දැනුම සහ පළපුරුද්ද තුලින් මගේ ඊළඟ පියවරට අත තබන්නයි මා මේ දවස්වල වෙහෙසෙන්නේ. මුල්‍යයම ආයෝජන ගැටලු නිසා ලංකාවේ චිත්‍රපටවල දෘශ්‍ය ප්‍රයෝග හා ති‍්‍රමාණ සජීවිකරණ කටයුතු සිදු වෙන්නේ ඉතාමත් ප්‍රාතථමික මට්ටමින්. නමුත් අපි මේ කඩයිම්, බාධක ජයගත යුතුමයි.

ඔබ මෙතරම් සුවිසල් ජාත්‍යන්තර ජයග්‍රහණයකට හිමිකම් කිවත්, ඔබේ සම්මානය රටතුළ වඩාත් කතාබහට ලක්වූ සම්මානයක් වුනේ නැහැ

ඇත්තෙන්ම මෙම ජයග්‍රහණය පළමුවෙන්ම ජනතාවට අතර ගියේ Facebook  හරහා. ඊට අමතරව සරසවිය පුවත්පතත් තවත් මාධ්‍ය ආයතන දෙකක් විතරයි මේ ගැන වාර්තා කරලා තිබ්බේ. මට දැනෙන විදිහට , මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ශී‍්‍ර ලංකාවේ තවමත් අන්තර්ජාතික සිනමා සම්මාන ලෙස පිළිගන්නේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලබන සම්මාන පමණයි. කෙටි සහ වාර්තා සිනමාපට ලබන සම්මාන සඳහා තවම නිසි අවධානයක් සහ පිළිගැනීමක් අපේ රට තුළ නැහැ.

 සංවාදය – උදිත ලක්මාල් කහඳවආරච්චි
http://www.sarasaviya.lk