රොෂේන් චානක සම්බන්ධ පරීක්ෂණ වාර්තාවවත් ප්‍රසිද්ධ නොකරපු ආණ්ඩුවක් දෙමළ මිනිස්සුන්ට වෙච්ච අපරාධ ගැන වාර්තාවක් හදයි ද?

0
76
Nimalka-Fernando_CI

”මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවට කිසිම ඉඩක් රටතුළ නොදිය යුතුයි කියල ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් වගේම හිටපු තානාපතිවරයෙක් කියන බව පේනවා. මේක හරි පුදුම කතාවක්. යුද්දේ ඉවර වෙලා අවුරුදු පහක් ඉවරයි. යුද්ධ කාලයේ සිදුවුන මානව හිමිකම් කෙ‍ලෙසීම් ගැන තවම නිසි ස්වාධීන පරීක්ෂණයක් කෙරිල නැහැ. එහෙම පරීක්ෂණයක් කෙරෙන බවක් පේන්නවත් නැහැ. එහෙම තියෙද්දි කොහොමද අන්තර් ජාතික පරීක්ෂනයක් පැවැත්වීම වැරදියි කියන්නේ? සාදාකාලිකවම නිසි දේශීය පරීක්ෂණයක් නැත්නම් බාහිර පරීක්ෂණයක් පැවැත්වීම වැරදි ද?

ආණ්ඩුව යුද්ධ කාලයේ ම පිහිටවපු පරීක්ෂණ කොමිසම ගන්න. ඒ කොමිසම පත් කළේ විදේශ බලපෑම් නිසා. ඒ කොමිසමට සහාය වෙන්න විදේශීය විද්වත් කමිටුවක් පත් කළා, රාජපක්ෂ ආන්ඩුවෙන්ම. (එකත් එක්තරා විදිහක විදේශීය අත පෙවීමක්..) හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු පී.එන්. බගවතී තමයි එහි ප්‍රධානත්වය දැරුවෙ. ඒ කොමිසමට සිද්ධි 14 ක් බාර දුන්න පරීක්ෂා කරල කව්ද අපරාධකරුවො කියළ සොයන්න. අන්තිමේ දී ඒ විදේශ විද්වත් කමිටුවට පල නොකියා පලා ඛෙදල රටින් පන්න ගත්ත. කොමිසමේ වාර්තාවට වෙච්ච දෙයක් තාමත් නෑ. කොමිසමත් අතරමග නැවතුණා. මා ඒ කොමිසම සමග ළඟින් වැඩ කළ නිසා දන්නවා සාක්ෂි දෙන්න ආපු බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිදුවුණු භයානක තත්ත්වය. සාක්ෂි දෙන්න ආපු අයට තර්ජන ආව. විදේශගතව ඉඳන් සාක්ෂි දීපු අය ඉන්නා රට කුමක්ද කියල කියන්නේ නැත්නම් සාක්ෂි බාර ගන්න බැහැ කිව්ව. එදා පොරොන්දු වුණා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් ගේනව කියල. තාමත් ඒ පනත නැහැ.

ආණ්ඩුවේ මානව හිමිකම් කොමිසමේ නොනිල සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම පසුගිය පෙබරවාරි මාසයේ දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල කිව්ව තොරතුරු දැන ගැනීමේ පනත සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මාසයක් ඇතුළත ගේනව කියල. ඒ මහත්වරු ජීනීවා ඇවිල්ලත් ගියා. ඒත් පනත තවම නැහැ. ඔන්න ඔය වගේ තමයි යුද්ධ කාලයේ සිදුවූ මානව හිමිකම් කෙලෙසීම් ගැන පරීක්ෂා කරනවය කියන කතා. හරියට බාලගිරි දෝෂය ‘අද නොවෙයි හෙට’ වගේ කවදාවත් නොවෙන දෙයක්.

වැලිවේරියෙ මැරුණෙ සිංහල තරුණයෝ. එතැනදිත් වෙඩි තිබ්බේ හමුදාවෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් කොමිසම වැලිවේරිය ඝාතන ගැන කරනවයි කිව්ව පරීක්ෂණයට වෙච්ච දේකුත් නෑ.

අඩු ගානේ කටුනායක දි වෙඩි තියල මරපු නිදහස් වෙළඳ කලාප සේවක රොෂේන් චානක සම්බන්ධ පරීක්ෂණ වාර්තාවවත් ප්‍රසිද්ධ නොකරපු ආණ්ඩුවක් දෙමළ මිනිස්සුන්ට වෙච්ච අපරාධ ගැන වාර්තාවක් හදයි ද?

දැන් බලන්න, උතුරෙ අම්ම කෙනෙක් ඉන්නව නම් තමන්ගේ දරුව පැහැරගෙන ගියේ කව්ද කියල දන්න නමුත් තවමත් සාධාරණයක් ලබා ගන්න බැරි වෙච්ච ඒ අම්මට අයිතියක් නැද්ද අන්තර් ජාතික පරීක්ෂණයකට ගිහින් කරුණු කියන්න. එතකොට ස්වෛරීයත්වයේ නාමයෙන් ඒ අම්මට අද සාක්ෂි දෙන්න තහනම්. අතුරුදහන්වීම් ගැන කොමිසමක් දාල තියෙන බව ඇත්ත. නමුත් ඒ කොමිසම ගැන බොහොම විවේචන තියෙනව. අනෙක තමන්ගේ කොමිසමත් අන්තර් ජාතික පරීක‍ෂණයත් අවංකවම හොයන්නේ එකම අම්මගේ අතුරුදහන් වූ දරුව නම් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ කොහොමද?

රාජපක්ෂ ජනාධිපති විසින්ම පත් කරපු පරීක්ෂණ කොමිසමට විමසන්න දීපු සිද්ධි 14 යටතේ තිබුණ මුතූර්හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය. කෙළින්ම අන්තර් ජාතික සිදුවීමක්. ඒ සහන සේවකයින් වැඩ කළේ ‘කුසගින්නට එරෙහි ක්‍රියා’ -ඇක්ෂන් අගේන්ස්ට් හන්ගර්- කියන අන්තර් ජාතික ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයකට. ඔවුන්ගේ මරණ පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලන්න එම සංවිධානය වැඩ කරන්නේ වසර පහක් ගිහිල්ලත් ලංකාන්ඩුව වරදකරුවන්ට දඩුවම් නොකරපු නිසා. දැන් ඒ සංවිධානය මෙම අපරාධයට යුද හමුදාව සම්බන්ධයි කියල දීර්ඝ වාර්තාවක් ප්‍රසිද්ධ කරල තියෙනව.

ආණ්ඩුවේ නිල නොනිල හොරණෑකරුවන් ලොකුවට කියන්නේ මේ වගේ අන්තර් ජාතික කොමිසමකින් ශ්‍රී ලංකාවේ ස්වෛරීයත්වය විනාශ වෙනව කියල. ඒ අතරම කියනව පළාත් සභා ක්‍රමය පිහිට වූ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියල. ඒ පොරොන්දුව එක්සත් ජාතීන්ටත් දීල තියෙනව. 2009 මානව හිමිකම් කවුන්සිල යෝජනාවෙත් ඒ පොරොන්දුව තියෙනව. 13 වන සංශෝධනය ආවේ විදේශීය, ඒ කියන්නේ ඉන්දියාවේ, මැදිහත්වීමෙන් නොවෙයි ද? එතකොට කෝ ඔය කියන ස්වෛරීයත්වය. අශෝක අධිරාජ්‍යයාගේ පුතා බුදු දහම ගෙනෙද්දිත් ස්වෛරීයත්වයට හානියක් වුණේ නැතිද? එදා රජු දඩ කෙළියේ යෑම තමයි ස්වෛරීයත්වය. ඒක තමයි මිහිඳු හාමුදුරුවෝ බණ කියලා වැළැක්වුවේ. ඉන්දියාවට මොනව හරි විශේෂ අයිතියක් තියෙනව ද ලංකාවට මැදිහත් වෙන්න? එකක් හොඳ වෙන්නයි අනෙක නරක් වෙන්නයි හේතුවක් තියෙන්න බැහැ.

ඇත්ත කතාව මේකයි. රටක් ස්වෛරීයත්වය ආරක්ෂා කර ගන්න කියල මානව හිමිකම් කෙලෙසන්න බැහැ. මානව හිමිකම් විශ්වීය යි. හැමෝට ම හැම තැනකට ම හැම තත්ත්වයක් යටතේ ම අයිතියි. ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අත්සන් කරන කොටම ස්වෛරීයත්වයෙන් කොටසක් අඩු වෙනවා. ඒ මානව හිමිකම් සම්බන්ධයෙන්. මානව හිමිකම් සම්බන්ධයෙන් එකකට එකඟයි. අනෙකට බැහැ කියනව වගේ සාපේක්ෂතාවාදයක් තියෙන්න බැහැ.

සමහරෙක් කියනවා, ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් කෙලෙසීම් පරීක්ෂා නොකරනව නම් ශ්‍රී ලංකාව ගැන මොකට ද පරීක්ෂණයක් කියල? නැහැ, අපි කියන්න ඕනේ ඒ රටවල අපරාධ ගැනත් පරීක්ෂා කරන්න කියල. මා නම් හැමදාම හිටියේ ඒ මතයේ. අප ඒ රටවල් මානව හිමිකම් පිරිස් එක්ක වැඩ කරළත් තියෙනව. විරෝධතා පවත්වලත් තියෙනව. අරහේ ඝාතන ගැන පරීක්ෂන නැත්නම් මෙහේ ඝාතනත් සොයන්න එපා කියන මතය අනුව කියන්නේ ලෝකෙ ඕනම රටකට කැමැති විදිහට ජනයා ඝාතනය කරන්න ඉඩ දෙන්න කියන එක නොවෙයි ද? අප ඒකට විරුද්ධයි. එහෙ නොකෙරුනත් මෙහේ කෙරෙන්න ඕනෙ.

ස්වෛරීයත්වය ගෙඩිය පිටින්ම ඒ කියන්නේ සහමුලින්ම තියා ගන්න ඕනෙ නම් ආණ්ඩුවට තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අයින් වෙලා හුදකලා ම්ලේච්ඡ රාජ්‍යයක් පවත්වා ගෙන යන්න. ඒකට අද ඉඩක් නැහැ. අද ලෝකයේ ශිෂ්ටාචාරයේ ප්‍රධානතම පදනම තමයි මානව හිමිකම්. අද ලෝකෙ කොහේවත් බෑනෙ වංගෙඩියෙ දාල තමන්ගේ දරුව කොටල මරන්න කියල අම්මට නියෝග දෙන්න. නැත්නම් ඇතුන් ලවා පාගල මරණ දඩුවම දෙන්න. (ගල් ගහල මරණ රටවල් තියෙනව, එත් ලෝක අපවාදය මැද්දේ).

ස්වෛරීයත්වය නැති වෙනව විදේශීය ආක්‍රමණයක් ආවොත්. අද ලංකාවට එහෙම තත්ත්වයක් නැහැ. අනෙත් අතට බංගලදේශයේ ජනයා බේර ගන්න ඉන්දීය හමුදා ගියාම ඒක ආක්‍රමණයක් වුණේ නෑනෙ. වියට්නාම් හමුදා පොල්පොට්ගෙන් කාම්බෝජ ජනයා බේර ගන්න ගියහම ඒක ආක්‍රමණයක් වුණෙත් නෑනෙ. චිලී රටේ යුද්ධ හමුදා නායකයා වූ පිනෝචේ එරට මානව හිමිකම් කෙලෙසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්තේ එංගලන්තෙදී. නැගෙනහිර ටිමෝරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණේ නැද්ද? මියන්මාරයේ හමුදා පාලකයින්ගේ මානව හිමිකම් කෙලෙසීම් ගැන සොයන්න මානව හිමිකම් කවුන්සිලය වසර ගණනාවක් විශේෂ නියෝජිතයෙක් පත් කරල තිබුණ. එතකොට ඒ අවස්ථාත් ස්වෛරීයත්වය කෙලෙසීමක් ද? නැහැ ජනයාගේ අයිතීන් වෙනුවෙන් කළ මැදිහත්වීම්.

මහා පරිමාණ මානව හිමිකම් කෙලෙසීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් පැවැත්වීම ස්වෛරීයත්වය විනාශ කිරීමක්ය කියන කතාව බුද්ධිමය කුහක කමක්. ඔය කතාව කියන හිටපු (දේශපාලන) තානාපති යුද්ධ කාලයේ මානව හිමිකම් කවුන්සිලය තුළ යුද්ධය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළා. යුද්ධ සමයේ ඝාතනය වුණු සිවිල් වැසියන්ගේ ලේ සංකේතාත්මකව ඔවුන්ගේ අත්වලත් තියෙනව. මේ මරණ වලට ඔවුන්ටත් එක්තරා විදිහක සදාචාරාක්මක වගකීමක් තියෙනව.

අපරාධකරුවන් අධිකරණ විභාගයකට ලක් කිරීමට ලංකාණ්ඩුව ඉඩ නොදුන්නොත් ආර්ථික සම්බාධක පැන වෙන්න පුළුවන්

යුද සමයේ අපරාධ කියන කොට ඒ එක පාර්ශවයකින් කරපු අපරාධ විතරක් නොවෙයි. හැම පාර්ශවයකින්ම කරපු අපරාධ ගැනයි මේ මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ. ඒ වගේම සර්ව සම්පුර්ණ පරීක්ෂණයක්. ශ්‍රී ලංකාණ්ඩුව එවැනි පරීක්ෂණයක් පවත්වන්නේ නැත්නම් එවැනි පරීක්ෂණයකට විරුද්ධ වෙන්නේ ඇයි? ආණ්ඩුව කියන්නේ මේ පරීක්ෂණය ලංකාවට විරුද්ධ එකක් කියලනේ. ඒ කතාවට අල්ලන අත්වැලක් තමයි ස්වෛරීයත්වය නැති වෙනවය කියන කතාව.

පරීක්ෂණය පවත්වන්නේ මහ කොමසාරිස් කාර්යාලය යටතේ ද වෙනම ස්වාධීන කොමිසමක් විසින් ද කියන එක නොවෙයි ප්‍රශ්නය. මහ කොමසාරිස් කාර්යාලයේ පාරදෘශ්‍ය භාවයක් නැතැයි කියන කතාවත් ඒ වගේම අභූතයක්. මේ යෝජනාව සම්මත වෙන අවස්ථාවෙදිත් මහ කොමසාරිස් කාර්යාලයේ මුදල් බාර නිලධාරියා පැමිණ සිටියා. ඔහුගෙන් ඇහුවා මුදල් තියෙනව ද? නැත්ද?, මුදල් ලැඛෙන්නේ යෝජනාව ගෙනෙන රටවලින් ම ද? වගේ ප්‍රශ්න. ඒ වගේම තමයි මේ පරීක්ෂණය කෙරෙන්නේ මහ කොමසාරිස් කාර්යාලයට සම්මත වූ යෝජනාවෙන් පැවැරෙන බලය උඩ. ඒ පරීක්ෂණය කෙරෙන්නේ පිළිගත් විද්වතුන් හෝ එම කාර්යාලයේ පරීක්ෂකයින් අතින්. අනෙක් රටවල් සම්බන්ධයෙන් පවත්වපු මෙවැනි පරීක්ෂණ දිහා බැලුවහම පේනවා එම පරීක්ෂණ කොතරම් විධිමත් ද, පාරදෘශ්‍ය ද කියන එක. මේ රහසේ සිදුවන පරීක්ෂණයක් නොවෙයි.

මේ පරීක්ෂණය එ.ජා. මහ ලේකම් බැන් කි මූන්, තමන් විසින් ම පත් කළ විද්වත් කමිටුවට වඩා වෙනස්. මේ සිද්ධ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල පරීක්ෂණයක්. එයයි වැදගත්. ඒ නිසයි එය පැහැර හැරීම ශ්‍රී ලංකාවට අවැඩක් බවට පත් වෙන්නෙ.

ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණය අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන්. සිරියාව වගේ රටවල් සම්බන්යෙන් ඒ අපරාධ සිද්ධ වන අවස්ථාවේ දී ම පරීක්ෂණය සිද්ධ වුණා. උතුරු කොරියාව සම්බන්ධයෙන් වුණත් එහෙම යි. ඒ නිසාම මේ පරීක්ෂණයට වැඩි කාලයක් ලැඛෙනවා. සමහර විට අවුරුද්දක කාල පරිච්ඡේදයක් මදි වෙන්නත් ඉඩ තියෙනවා.

පරීක්ෂණයේ නිර්ණායක මොනවා ද කියන එක වැදගත් කාරණයක්. මෙවැනි තත්ත්වයකදී යොදා ගැනෙන එක්සත් ජාතීන්ගේ නිර්ණායක ගණනාවක් යොදා ගැනෙන්න ඉඩ තියෙනවා. අන්තර් ජාතික මානුෂීය නීති නිර්ණායකය, අන්තර් ජාතික මානව හිමිකම් නීති නිර්නායකය, වර්ග සංහාර නිර්නායකය, යුද අපරාධ නිර්නායකය වගේ. ඒ අනුව සොයා ගැනීම් ප්‍රභේද ගත කරන්නට ඉඩ තියෙනවා. හරියට සාමාන්‍යයෙන් නඩු නිමිත්තක දී බලනවා වගේ, අපරාධය සිදු වූ වට පිටාව කුමක්ද? අහම්ඛෙන් සිදු වූ අපරාධයන් ද? ආත්මාරක්ෂාවට කළ අපරාධයක් ද? සිතා මතා සැලසුම් කළ අපරාධයක් ද? වගේ ප්‍රශ්න අප සලකා බලනවනේ. මා හිතන්නේ ශ්‍රී ලංකාවේ යුද සමය ගැන කෙරෙන මේ පරීක්ෂණයේ දී මුලින්ම එවැනි කාණ්ඩ ගත කිරීමක් සිදු වන්නට පුළුවන්.

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම විසින් පරීක්ෂා කළ යුතු බවට නිර්දේශ කළ සිදුවීම් අනුව ඊට සීමා නොවී පරීක්ෂණය පැවැත්වෙන්නත් පුළුවන්. උගත් පාඩම් කොමිසමේ එම නිර්දේශවත් තවම ආණ්ඩුව ක්‍රියාවට දාල නැහැ. ඔය ස්වෛරීයත්වය ගැන දේශනා කරන අයට ඒ ටිකවත් රාජපක්ෂ ආණ්ඩුවට කියල කරව ගන්න බැරිවෙලා තියෙන්නේ.

මේ පරීක්ෂණය ජනාධිපති විදුලි පුටුවට ගෙන යෑමට කෙරෙන කුමන්ත්‍රණයක් කියන කතාව විහිළුවක්. අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයේ මරණ ද`ඩුවම නැහැ. මේ පරීක්ෂණයේ සොයා ගැනීම් අන්තර් ජාතික අධිකරණ බලය අනුව ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? කියන එක දෙවනුව තීරණය කරාවි. සමහර විට අපරාධයන්ට වගකිය යුතු බවට තීරණය වන පුද්ගලයින්ට විරුද්ධව පියවර ගැනෙන්න පුළුවන්. ඔවුන්ට අන්තර් ජාතික ගමන් බිමන් තහනම් කරන්න එජා සංවිධානයට බලය තිඛෙනවා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ගිනුම් තහනම් කරන්න පුළුවන්.

ඇත්තටම කිව්වොත් මේ වගේ දඬුවමකට යටත් වෙන්නේ මුළු රටම නොවෙයි. ටික දෙනෙක් රැක ගන්න තමයි මේ බක තපස් කතා ඔක්කොම. හැබැයි අපරාධකරුවන් බවට තීන්දු වන පුද්ගලයින් අධිකරණ විභාගයකට ලක් කිරීමට ලංකාණ්ඩුව ඉඩ නොදුන්නොත් යම් විදිහක ආර්ථික සම්බාධක පැන වෙන්නත් පුළුවන්.

අන්තර් ජාතික පරීක්ෂණය සිද්ධ වෙනවා. ඒක වළක්වන්න ආණ්ඩුවේ නිල නොනිල වන්දි භට්ටයින්ට හෝ හොරණෑකරුවන්ට හෝ බැහැ. ”

-ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සමඟින් කළ සාකච්ජාවකින් සකස් කළේ සුනන්ද දේශප්‍රිය
(ලංකා හෙරලඩ් ඇසුරිනි)