රෝෂේන් චානකගේ මරණයට හේතුව ……. මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිල වශයෙන් ප‍්‍රකාශ කරයි.

0
51

(Katunayaka)

යෝජිත පෞද්ගලික  අංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය මැයි 30 වැනි දින කටුනායකදී  පැවති උද්ඝෝෂනය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වෙළද කලාප සේවක රෝෂේන් චානකගේ මරණ පරීක්ෂනය මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පසුගිය ජුලි 11 වැනි දින යලිත් විභාගයට ගැණිනි. ඒ මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ගේ ප‍්‍රධානත්වයෙනි.

එහිදී රෝෂේන් චානකගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂනයෙන් පසු නිකුත් කරන ලද මරණ පරීක්ෂන වාර්තාව පදනම් කර ගෙන මහේස්ත‍්‍රාත්වරයා විසින් නිල වශයෙන් රෝෂේන් චානක ගේ මරණයට හේතු වූ කරුණු කාරනා පැහැදිලි කලේය.  ඒ අනුව ඔහුට වැදුණු වෙඩි ප‍්‍රහාරය උකුල් ඇටය ප‍්‍රදේශයෙන් සිරුරට ඇතුල් වී අභ්‍යන්තර ඓන්ද්‍රීයන් ට හානි සිදු විම සහ එම තත්වය මත ඇති වූ අධික රුධීර වහනය හේතුවෙන් මේ මරණය සිදු වී ඇති බවට  මහේස්ත‍්‍රාත්වරයා එහිදී නිල වශයෙන් ප‍්‍රකාශ කලේය.
මෙම මරණය සම්බන්ධයෙන් පැවති පසුගිය නඩු වාරයේදී එනම් පසුගිය  ජුලි 05 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද රජයේ දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් වන සැකකරුවන් 10 දෙනා මෙදිනද අධිකරනයට ඉදිරිපත් කර තිබිණි. මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ එම සැකකරුවන්ගෙන් ප‍්‍රකාශ

සටහන් කර ගෙන ඔවුන්ව මුදා හරින ලෙසයි.
එමෙන්ම රෝෂේන් චානකගේ  මරණයේ ප‍්‍රධාන සැකකරුවන් වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති  සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල්. රණසිංහ යන නිලධාරින් දෙදෙනාව මෙදිනද විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබීනී. එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අධිකරණයට ඉදිරිපත් කල ඇප ලබා ගැනීමේ අයදුම්පත ප‍්‍රතික්ෂේප කල  මහේස්ත‍්‍රාත්වරයා මෙම සැකකරුවන් දෙදෙනාව ලබන නඩු වාරය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලේය. අදාල සැකකරුවන් දෙදෙනාට ඇප ලබා ගැනීම කෙරෙහි සලකා බැලීමට මහාධිකරණයට යොමු කරන ලෙසට සැකකරුවන් වෙත දැනුම් දුන් මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩු විභාගය මේ මස 25 වැනි (2011/07/25) දින දක්වා කල් තැබීය.